බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයන තහනම ගැන ඉස්ලාමය කියන්නේ කුමක්ද?

​ශ්‍රී ලංකා රජය විසින් 2026 ජූලි 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාර ශ්‍රමය මඟින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැණීම් කරන ලද, නිෂ්පාදනය කරන ලද හෝ නිමකරන ලද ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්ණායක හා තීරණ සැලකිල්ලට ගනිමින් තහනම අදාළ වන භාණ්ඩ හා රටවල් කාලානුරූපව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. බලහත්කාර ශ්‍රමය යනු පුද්ගලයකු තර්ජනයකට හෝ දඬුවමකට බියෙන්, ස්වකීය කැමැත්තෙන් තොරව සිදුකරන සේවයයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව නූතන වහල් මෙහෙය නිරූපණය කෙරෙන ප්‍රධාන ස්වරූපයක් වන මෙය මානව හිමිකම් උල්ලංඝනයක් මෙන්ම සාධාරණ වෙළෙඳාමට ද බාධාවකි.

​ශ්‍රී ලංකා රජය විසින් මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික යාන්ත්‍රණයක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදී, එම භාණ්ඩය බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය නොකළ බවට තහවුරු කරන ලියකියවිලි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. මෙය හුදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොව, රේගුව හරහා ක්‍රියාත්මක වන නියාමන රාමුවකි. එමඟින් වගකීම ආනයනකරුවා වෙත පැවරුණ ද සැපයුම් දාමයේ විනිවිදභාවය සහතික කිරීමට ද මඟ පාදයි.

​මෙවැනි තීරණයකට රජය එළඹීමට ජාත්‍යන්තර පීඩනය ද ඍජුවම බලපා ඇති බව පෙනේ. බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගත් බවට චෝදනා කරමින්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් එන භාණ්ඩ සඳහා ඇමෙරිකාව 12.5%ක අතිරේක ආනයන බද්දක් පැනවීමට යෝජනා කර තිබිණි. ඇමෙරිකානු පරිපාලනයේ තර්කය වූයේ ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඵලදායී නීති ක්‍රියාත්මක නොකිරීමයි. එබැවින් මෙම නව තහනම, රටේ මානව හිමිකම් ප්‍රතිරූපය ඉහළ නැංවීමට මෙන්ම GSP+ වැනි වරප්‍රසාද සහ ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල් ආරක්ෂා කර ගැනීමට ගත් උපායමාර්ගික පියවරක් ලෙස ද හඳුනාගත හැකිය.

​කෙසේ වෙතත්, නීතියක් පැනවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව මතය. රේගු නිලධාරීන් පුහුණු කිරීම, අවදානම් සහිත රටවල් හා භාණ්ඩ හඳුනාගැනීමේ දත්ත පද්ධතියක් සැකසීම, ව්‍යාජ සහතික හඳුනාගැනීමේ හැකියාව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) වැනි ආයතන සමඟ තොරතුරු හුවමාරු කරගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම දේශීය කර්මාන්තකරුවන්ට බලපාන අයුරින් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වළක්වා ගැනීමට විකල්ප සැපයුම්කරුවන් හඳුනාගැනීමේ වැඩසටහනක් ද අවශ්‍යය.

​කෙසේ හෝ ජාත්‍යන්තර බලපෑම් මත හෝ බලහත්කාර ශ්‍රමයෙන් තොර වෙළෙඳාමක් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති මෙම පියවර සදාචාරාත්මක මෙන්ම ආර්ථික වශයෙන් ද වැදගත්ය. එය ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුගත වීමක් වන අතර, රටේ අපනයන සඳහා ඇතිවිය හැකි වෙළෙඳ බාධක ඉවත් කිරීමට ද උපකාරී වේ. නමුත් මෙම තහනමේ සැබෑ ප්‍රතිලාභ ලැබීමට නම්, නීතිය දැඩිව හා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම, සැපයුම් දාම පරීක්ෂාව ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කොන්දේසි වේ.

​මේ අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බොහෝ දෙනා නොදත් කරුණක් ද වේ. එය ජනවාර්ගික සමඟියට හා සහජීවනයට බාධා පමුණුවන්නකි. ඒ ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියන 2.3ක් හෙවත් මුළු ජනගහනයෙන් 10.7%ක් අදහන ඉස්ලාම් දහම බලහත්කාර ශ්‍රමය සහ දාසභාවය හෙවත් වහල්භාවය එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමයි. අතීත මානව සමාජය තුළ වහල් ක්‍රමය සමාජ හා ආර්ථික ව්‍යුහයේ අනිවාර්ය කොටසක්ව පැවති බැවින්, ඉස්ලාමය එය “එක රැයකින්” තහනම් කිරීම වෙනුවට ක්‍රමානුකූලව සමාජයෙන් තුරන් කිරීමේ සාර්ථක වැඩපිළිවෙළක් මුහම්මද් නබිතුමාගේ කාලයේදීම දියත් විය. ශුද්ධ වූ කුරානයේ 2:256 වාක්‍යයේ සඳහන් වන “ආගම සම්බන්ධයෙන් බලහත්කාරයක් නැත” යන මූලධර්මය මඟින් පුද්ගල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර ඇති අතර, මෙවැනි ඉගැන්වීම්වලට අනුව මිනිසුන් ලවා බලහත්කාරයෙන් වැඩ ගැනීම සපුරාම තහනම් වේ. විශේෂයෙන්ම ඉස්ලාමීය නීති පද්ධතිය හෙවත් ශරීආවේ මූලික අරමුණු පහෙන් එකක් වන්නේ “නෆ්ස්” හෙවත් මිනිස් ජීවිතය සහ පුද්ගල නිදහස ආරක්ෂා කර දීමයි.

​අතීත වහල් ක්‍රමයේ බලය බිඳ දැමීම සඳහා ඉස්ලාමය නව වහලුන් ඇතිවීමේ මාර්ග සියල්ලම පාහේ වසා දැමූ අතර, දැනට සිටින වහලුන් නිදහස් කිරීම උදෙසා දොරටු රැසක් විවෘත කොට තිබේ. ශුද්ධ වූ කුරානයට අනුව දාසයෙකු නිදහස් කිරීම උසස්ම ගණයේ කුසලයක් ලෙස සලකනු ලබන අතර, මුස්ලිම්වරුන් අනිවාර්යයෙන්ම දිය යුතු “සකාත්” දානයෙන් කොටසක් වහලුන් මිලදී ගෙන නිදහස් කිරීම උදෙසා වෙන් කිරීමට නියම විය. එපමණක් නොව, මිනිසෙකු අතින් සිදුවන ඇතැම් බරපතළ වැරදි සඳහා පාප සමාකරණයක් (පව් මකා ගැනීමක්) ලෙස ද දාසයන් නිදහස් කිරීම අනිවාර්ය විය. මුහම්මද් නබිතුමා මක්කාව ජයග්‍රහණය කිරීමෙන් පසුව එහි සිටි වහලුන් සිය ගණනක් එකවර නිදහස් කරමින් ප්‍රායෝගික ආදර්ශයක් සැපයූ අතර, යුද්ධ සිරකරුවන් ලෙස කොටු වූ පිරිස් පවා විවිධ ක්‍රමවේද ඔස්සේ නිදහස් කිරීමට මුස්ලිම් සමාජය දිරිමත් කරන ලදී.

​ඉස්ලාමීය හදීස් ඉගැන්වීම්වලට අනුව ශ්‍රම සූරාකෑම සහ බලහත්කාරයෙන් වැඩ ගැනීම බරපතළ පාපයකි. සහීහ් බුහාරි (2227) හදීසයට අනුව, අවසාන විනිශ්චය දිනයේදී දෙවියන් වහන්සේ ඍජුවම විරුද්ධ වන පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙකු වන්නේ, “කෙනෙකුගෙන් වැඩ ගෙන, ඔහුගේ වැඩෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගෙන, ඔහුට නියමිත වැටුප නොදුන් තැනැත්තා” යන්නයි. එමෙන්ම නිදහස් මිනිසෙකු වහලෙකු ලෙස විකුණා මුදල් උපයන පුද්ගලයාට ද දෙවියන් වහන්සේගේ දැඩි දඬුවම් හිමිවන බව එහි අවධාරණය කෙරේ. සේවකයන් සහ වහලුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සහීහ් බුහාරි (30) හදීසයේ පැහැදිලි කර ඇත්තේ මෙලෙසිනි: “ඔවුන් ඔබේ සහෝදරයන්ය. අල්ලාහ් ඔවුන්ව ඔබේ යටතට පත් කොට තිබේ. එබැවින් යමෙකුගේ සහෝදරයෙක් ඔහු යටතේ සිටී නම්, ඔහු කන දෙයින් ඔහුට කන්න දිය යුතුයි, ඔහු අඳින දෙයින් ඇන්දවිය යුතුයි. ඔවුන්ට දරාගත නොහැකි වැඩ පවරන්න එපා. පවරනවා නම් ඔවුන්ට ඒ සඳහා උදව් කරන්න.”

​ඓතිහාසික වශයෙන් බලන කල, ඉස්ලාමය, වහලෙකු ලෙස සිටි පුද්ගලයාට සමාජයේ ඉහළම ගෞරවනීය තත්ත්වයන් ලබා දීමට කටයුතු කළේය. නබිතුමාගේ හදාගත් පුත්‍රයා බවට පත් වූ සයිද් ඉබ්නු හාරිසා සහ මුල්ම කාලයේ නිදහස ලැබූ කළු ජාතික දාසයෙකු වූ බිලාල් ඉබ්නු රබාහ් මෙයට කදිම නිදසුන් වේ. බිලාල් (රලි) තුමා පසුව ඉස්ලාමයේ පළමු මුවද්දින් (සලාතය සඳහා බැතිමතුන් කැඳවන්නා) බවට පත් කරමින් සමාජය තුළ වහලුන්ට තිබූ පහත් ආකල්පය සහ වර්ණභේදවාදය මුළුමනින්ම තුරන් කිරීමට ඉස්ලාමය සමත් විය. මේ අනුව නව වහලුන් බිහි වීම වැළැක්වීම, සිටින වහලුන්ට සහෝදරයන් සේ සැලකීමට අණ කිරීම, වැටුප් නොදී ශ්‍රමය සූරාකෑම තහනම් කිරීම සහ වහලුන් නිදහස් කිරීම උසස්ම පින්කමක් බවට පත් කිරීම වැනි ආගමික හා ඓතිහාසික සාක්ෂි මඟින් ඉස්ලාමය බලහත්කාර ශ්‍රමයට සහ දාසභාවයට ඍජුවම විරුද්ධ වූ බව මනාව පැහැදිලි වේ. නමුත් බොහෝ මුස්ලිම්වරුන් තුළ පවා මෙම කරුණු සම්බන්ධ ආගමානුකූල අවබෝධයක් නොතිබීම, එමෙන්ම ඉස්ලාම් භක්තිකයන් පිට පළාත්වල පල්ලි ඇසුරින් එම ප්‍රදේශවල ජනතාව හමුවී ආගමික සහජීවන කතිකාවන්ට මුල පිරෙන තබ්ලීග් ජමාත් වැනි වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ ඇතැම් මුස්ලිම් ජාතිකයන් හට සිංහල බස නිසි පරිදි හැසිරවීමට නොහැකිකම ආදී හේතූන් මත මෙම අන්තර් සාමයික සුසංවාදයට බාධා පැමිණ තිබේ.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර