ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ ජාතික හොකී සංගමය මෙවර නෙදර්ලන්තයේ පැවැත්වෙන ප්රවීණයන්ගේ ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා කණ්ඩායම් 3ක් සහභාගිකරවන අතර අදාළ ලෝක කුසලාන සඳහා මෙරටින් කණ්ඩායම් 3ක් එකවර සහභාගිවන පළමු අවස්ථාව මෙය බව ඉකුත්දා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කරනලදි.
අනිද්දා (22 වැනිදා) සිට එළැඹෙන අගෝස්තු මස 1 වැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටඩෑම්හිදී පැවැත්වෙන තරගාවලියට මෙරටින් වයස අවුරුදු 35න් ඉහළ, අවුරුදු 40න් ඉහළ සහ අවුරුදු 50න් ඉහළ ලෙස පිරිමි කණ්ඩායම් 3ක් සහභාගි වේ. 2018 වසරේ සිට මෙම ලෝක කුසලාන සඳහා සහභාගිවන ශ්‍රී ලංකාව අඛණ්ඩව තරග කරන සිව්වැනි අවස්ථාව මෙය බව මාධ්‍ය හමුව අමතමින් සංගමයේ සභාපති ෆවුසුල් හමීඩ් සඳහන් කළේය. එහිදී උපුල් ධනුෂ්ක 35න් ඉහළ කණ්ඩායමටත්, අනුරුද්ධ වික්‍රමසිංහ 40න් ඉහළ කණ්ඩායමටත් නායකත්වය දෙන අතර 50න් ඉහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සමන් ජයලත්ට හිමිව ඇත.
මෙම කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් මෙන්ම නායකයන් ද ඇතුළත්වන අතර බහුතරයක් ක්‍රීඩකයන් තරගාවලියේ බරපැන වන රු. ලක්ෂ 12ක පමණ මුදල සිය පෞද්ගලික මුදලින් සපයා ගනිමින් මෙම තරගාවලියට සහභාවගිවන බව සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම පිරිස පෙර ලෝක කුසලානවලදී ද සිදු කළ අයුරින් මෙවර තරගාවලියේදී ද, ශ්‍රී ලංකාව ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලසුමකින් තරගාවලියට සහභාහි වීම විශේෂත්වයකි. ඒ සඳහා මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහයෝගයද හිමිව ඇත.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය, බෙල්ජියම, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව, ප්‍රංශය, ස්කොට්ලන්තය, වේල්සය, චිලී සහ ආර්ජන්ටිනාව වැනි රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,600 කට අධික සංඛ්‍යාවක් සහ පවුල්වල සාමාජිකයන්, ආධාරකරුවන්, නිලධාරීන් සහ නරඹන්නන් 10,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන තරගාවලිය ඒ සඳහා අගනා අවස්ථාවක් බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනලදි.