බංග්ලාදේශ ජනාධිපති ඉල්ලා අස්වෙයි;බලයෙන් පහකළ ෂීක් හසීනා යළි එන්න සූදානම්

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞඛ්‍ය හේතූන් මත තමන් ඉල්ලා අස්වන බව දක්වමින් ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දීන් අහමඩ් මහතා වෙත භාර දී තිබේ.76 හැවිරිදි ෂහාබුදීන් මහතා, හිටපු අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ‘අවාමි ලීග්’ පක්ෂයේ නාම යෝජනාව මත 2023 වසරේ අප්‍රේල් මාසයේදී බංග්ලාදේශයේ 22 වැනි ජනාධිපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් විය. ඔහුගේ පස් අවුරුදු ධුර කාලය 2028 අප්‍රේල් දක්වා පැවැතීමට නියමිතව තිබියදී මෙම ඉල්ලා අස්වීම සිදුව තිබීම විශේෂත්වයකි.ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ වකුගඩු ආබාධ හේතුවෙන් තමන් හෘද බයිපාස් (Heart Bypass) සැත්කමකට ලක්ව සිටින බවයි. එසේම මෑතකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී තමන්ට Autonomic Neuropathy නම් ස්නායු ආබාධ තත්ත්වය වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ. එම තත්ත්වය හේතුවෙන් කෙටි කාලීනව සිහි විසඥ වීම් සිදුවන බැවින්, සිය ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව අපොහොසත් වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.මෙම ඉල්ලා අස්වීම පිටුපස දැඩි දේශපාලන බලපෑමක් පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ තායිලන්තයේ සංචාරයක නිරතව සිටි කථානායකවරයා සිය සංචාරය කෙටි කර වහාම දිවයිනට පැමිණ තිබේ.බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 වැනි වගන්තියට අනුව ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට පාර්ලිමේන්තු කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතු අතර, දින 90 ක් ඇතුළත නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගත යුතුවේ.ධුරයෙන් පහකරන ලද හිටපු අගමැතිනී ෂීක් හසීනා නැවත බංග්ලාදේශයට පැමිණීමට සූදානම් වන බවට පළවූ වාර්තාත් සමඟ, නව අගමැති තාරික් රහ්මාන් මහතාගේ නායකත්වයෙන් යුත් ‘බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂ’ (BNP) රජයෙන් ජනාධිපතිවරයාට දැඩි දේශපාලන පීඩනයක් එල්ල වී ඇත.ජනාධිපතිවරයා පසුගිය මැයි මාසයේදී ලන්ඩනයේ සිට ෂීක් හසීනා සමඟ දුරකථන සම්බන්ධතාවක් යළි ඇති කර ගැනීමට උත්සාහ කිරීමද මෙම ඉල්ලා අස්වීමට තවත් හේතුවක් වී තිබේ.2024 වසරේ පැවැති ශිෂ්‍ය අරගලය මර්දනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, දැනට ඉන්දියාවේ පිටුවහලේ සිටින හිටපු අගමැතිනී ෂීක් හසීනා, එළඹෙන දෙසැම්බර් මාසයේදී නැවත පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බව පසුගියදා ප්‍රකාශ කළාය.රොයිටර් පුවත් සේවයට අනුව, ෂීක් හසීනාගේ අවසන් ආධාරකරුවා ලෙස සැලකෙන ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ, රාජ්‍ය ජ්‍යෙෂ්ඨ තනතුරුවල සිටි ඇගේ අවසන් සහයකයාද අහිමි වී තිබේ. මෙම ඉල්ලා අස්වීම ෂීක් හසීනා පාලන සමයේ පත් කරන ලද අවසන් ව්‍යවස්ථාපිත තනතුරුධාරියාගේ නික්මයාම ලෙසද සලකනු ලබයි.

කාලීන පුවත්