මේ දිනවල මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.ඒ අනුව වඩාත්ම බලපෑම එල්ල වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණියේ පිහිටි මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයටයි.මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මීවතුර මධ්‍යස්ථානයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිය දක්වා ජලය ඇතුළු වී තිබේ. ඒ හේතුවෙන් ඊයේ (03) පස්වරුවේ එහි සියලුම පිරිපහදු කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට සිදුවූ බව සභාපතිවරයා සඳහන් කළේය. ඉන් පවුල් 40,000කට පමණ ජල සැපයුමට බාධා එල්ල විය.කෙසේ වෙතත් මහවැලි ගඟේ ජල මට්ටම යළි පහළ යාමත් සමඟ මේ වන විට මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සියලු අලුත්වැඩියා කටයුතු අවසන් කර සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.මේ අතර මාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකට ද බලපෑම් එල්ල වී ඇත.ඉන් මාවනැල්ල ජල පිරිපහදු මධ්‍යස්ථානය මේ වන විට යථා තත්ත්වයට පත්කර ජල සැපයුම යළි ආරම්භ කර ඇති අතර, අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථානය තවමත් අක්‍රීය තත්ත්වයේ පවතී. ඒ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් ජල සබඳතා 40,000කට ආසන්න සංඛ්‍යාවකට තවදුරටත් බලපෑම් එල්ල වී තිබේ. අසුපිනිඇල්ල මධ්‍යස්ථානය යළි යථා තත්ත්වයට පත් කිරීමට කාර්ය මණ්ඩලය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව මණ්ඩලය පවසයි.මේ අතර මෙම ගංවතුර තත්ත්වයේ බලපෑම බස්නාහිර පළාතේ ජල සැපයුමට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද සභාපතිවරයා තහවුරු කළේය.එමෙන්ම පවතින වර්ෂාවත් සමඟ ගංගාවල ජලයේ මඩ සහ බොර ගතිය සාපේක්ෂව ඉහළ ගොස් තිබුණද, ජලය නිසි ප්‍රමිතීන්ට අනුව පිරිපහදු කිරීමෙන් අනතුරුව පමණක් බෙදා හරින බැවින්, සපයනු ලබන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.