කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ නොසන්සුන් තත්ත්වයක් ; STFය ඇතුළු ආරක්ෂාව දැඩිකරයි

කොළඹ, බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ (E) වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අතර ඊයේ (06) රාත්‍රී 10.20 ට පමණ හදිසි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබේ.මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය මුල් කරගනිමින් රැඳවියන් පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම කලහකාරී තත්ත්වය හටගෙන ඇති බවයි.එම වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් 40 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් හදිසියේම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම සිදුවීම ආරම්භ වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා බන්ධනාගාර බලධාරීන්ගේ ඉල්ලීම මත පොලීසිය, පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් වහාම බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ක්‍රියාත්මක වීමත් සමඟ පවතින නොසන්සුන්තාව පාලනය කිරීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.මේ වන විට බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති අතර, සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.මේ අතර, මෙරට බන්ධනාගාර මුල් කරගෙන විටින් විට හටගන්නා මෙවැනි කැරළි කෝලාහල සම්බන්ධයෙන් දේශපාලනඥයන් විසින් පවසනු ලබන පදනම් විරහිත ප්‍රකාශ වෙනුවට, මෙම සිදුවීම් පිටුපස ඇති පොදු මූලය ; එනම් බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම, තදබදය සහ කළමනාකරණ දුර්වලතා – සොයා විධිමත් විමර්ශනයක් කළ යුතු බව විද්වතුන්ගේ මතය වී ඇත.

කාලීන පුවත්