අධිකරණ ස්වාධීනත්වයේදී ආණ්ඩුව කිසිදු අවදානමක් නොගත යුතුයි

අධිකරණයේ ස්වාධීනත්වය වැනි සංවේදී හා උතුම් කරුණුවලදී ආණ්ඩුව කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.පසුගියදා මරදාන ජම්ඉයියතුල් උලමා (ඉස්ලාම් ධර්මධරයන්ගේ සභා) මූලස්ථානය වෙත පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,“ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමඟ පැවැති සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ සහ නීති ක්ෂේත්‍රයේ මතය අපි පැහැදිලිව ඉදිරිපත් කළා. යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට මා ඇතුළු නීතිඥ ප්‍රජාව සම්පූර්ණයෙන්ම විරුද්ධයි.අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ උතුම් සංකල්පයක්. ජනාධිපතිතුමා හිතනවා නම් මෙතන අවදානමක් තියෙනවා කියලා, ඒකම උත්තරය මේක නොකර ඉන්න. රටේ සංවර්ධනය, අමාත්‍ය මණ්ඩල පත්කිරීම් වගේ දේවල්වලදී අවදානම් ගන්න පුළුවන් වුණත්, අධිකරණයේ ස්වාධීනත්වයට පහරක් වදින, අවදානමක් එන කිසිම දෙයක් කවදාවත් නොකළ යුතුයි. මන්ද මෙය සමස්ත ජනතාවගේම මූලික අයිතිවාසිකම්වලට සහ අනාගතයට බලපාන ජාතික ප්‍රශ්නයක්”යනුවෙන් සඳහන් කළේය.එසේම යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය, විනිසුරුවරුන්ගේ සංගම්, මහානායක හිමිවරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) විශේෂ නිරීක්ෂකයින් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන පවා විරෝධය පළ කර ඇති බවත්, මේ වන විට මෙයට පක්ෂව සිටින්නේ ආණ්ඩුව පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.එම නිසා මෙම කාරණයේදී හදිසි නොවී, පුළුල් විද්වත් සාකච්ඡාවකින් අනතුරුව රටට සහ ජනතාවට යහපත් වන සාධාරණ තීරණයකට එළඹෙන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

කාලීන පුවත්