හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ දේශානි ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට

හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ මොණරාගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය ගෘහස්ථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.වාර්තා වන අන්දමට, ඔවුන්ට අයත් අළුතින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක දෙවන මහලෙන් ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.අනතුරින් බරපතළ තුවාල ලැබූ දේශානි ගුණරත්න මහත්මිය ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.දෙදරු මවක වන ඇයගේ දේහය තණමල්විල පිහිටි ඔවුන්ගේ නිවස වෙත රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් වේ.ජගත් පුෂ්පකුමාර මහතා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයකු වන අතර, ජාතිය ගොඩනැගීම, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන සහ විදේශ රැකියා ප්‍රවර්ධන ඇතුළු අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් දරා තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල තොරතුරුවලට අනුව ඔහු 1994 සිට අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර, අවසන් වරට 2020 දී තේරී පත්වී තිබේ.

කාලීන පුවත්