22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීම කෙරෙහි ආණ්ඩුව ප්රමුඛ අවධානය යොමු කළ යුතු බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වැඩකොටස ඉටු කිරීමෙන් අනතුරුව අවශ්‍ය ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.“මීට වඩා වැඩ තියෙනවානේ අපිට කරන්න. මේ 22 වැනි සංශෝධනය ගේනවට වඩා ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා. ඒවා කරලා ඉවර වෙලා ඕනෑ වගන්තියක් ගෙනාවාට කමක් නැහැ” යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුව මේ වන විට ජනතාවට බලපාන ප්රමුඛ ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවටද ඔහු චෝදනා කළේය. “ප්‍රමුඛතාව දෙන්න ඕන ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. අනවශ්‍ය දේවල් තමයි ඉදිරියට ගේන්නේ. මිනිස්සුන්ට මේ ප්‍රශ්නයට වඩා ප්‍රශ්න තියෙනවා. කන්න බොන්න නැතිව මිනිස්සු දුක් විඳිනවා. ඒ ප්‍රශ්න විසඳන්නේ නැතිව අනවශ්‍ය ප්‍රශ්න විසඳන්න ලෑස්ති වුණාම තමයි ප්‍රශ්නේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය සිදු වූයේ රජය විසින් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පසුබිමකය. පනත් කෙටුම්පත අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, එහි ප්‍රධාන යෝජනාවක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමය. පනත් කෙටුම්පත පාලනය, යුක්තිය හා සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කර ඇති අතර, එහි ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීමේ හැකියාවද පවතී.
රජයේ පැහැදිලි කිරීම අනුව, මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ පවතින නඩු ගොඩගැසීම කඩිනමින් විසඳීම සඳහා අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමය. ජූලි 27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අදාළ ව්‍යවස්ථා සහ අධිකරණ නීති සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී තිබූ අතර, නීති කෙටුම්පත් දෙකට නීතිපතිවරයාගේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකයද ලැබී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් මෑතකදී අදහස් දක්වමින් එය කිසිදු පුද්ගලයකු ඉලක්ක කරගත් පියවරක් නොවන බවත්, අධිකරණ පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා මෙම වෙනස අවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන් විනිසුරුවරුන්ගේ පළපුරුද්ද රඳවා ගැනීම සහ අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මෙම සංශෝධනය අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද විවේචන ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, සංශෝධනයේ අරමුණ, අධිකරණ ස්වාධීනත්වයට එහි ඇති බලපෑම සහ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛතාව පිළිබඳ දේශපාලන හා නීතිමය සංවාදයක් මේ වන විට මතුව තිබේ.
.