රාජ්‍ය සේවකයන්ට ලබන ජනවාරියේ යළි වැටුප් වර්ධකයක්

රාජ්‍ය සේවකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේදී යළිත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ඊයේ (26) පැවැති මිලාද්-උන්-නබි ජාතික සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, රාජ්‍ය සේවය රටේ ආකර්ෂණීය හා ගෞරවනීය වෘත්තියක් බවට පත් කිරීම රජයේ අරමුණක් බවද පැවසීය.ඒ අනුව රාජ්‍ය සේවකයන් සඳහා 2025-2026 වැටුප් වර්ධකයක් මේ වන විටත් ලබාදී ඇති බවත්, එම වැඩපිළිවෙළේ ඉදිරි පියවරක් ලෙස ලබන වසරේ ජනවාරි මාසයේදී තවත් වැටුප් වර්ධකයක් ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සමඟම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමද අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වැටුප් හා වරප්‍රසාද වැඩි කිරීම පමණක් නොව, ඒ වෙනුවෙන් ජනතාවට කාර්යක්ෂම හා වගකියන සේවයක් ලබාදීම රාජ්‍ය සේවයේ මූලික වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.රාජ්‍ය සේවය පිළිබඳව මෙරට මහජනතාව තුළ පවතින ආකල්පය තවදුරටත් වෙනස් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ජනතාව තුළ යහපත් ආකල්පයක් පැවතියද, සමස්තයක් ලෙස රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මහජන විශ්වාසය හා තෘප්තිය අපේක්ෂිත මට්ටමක නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.එබැවින් ජනතාවට වගකියන, කාර්යක්ෂම සහ නූතන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය සැලකිය යුතු ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.මේ අතර, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉදිරි වසරක් වැනි කෙටි කාලයක් තුළදී මහජනතාවට රජය සමඟ සිදුකරන සියලුම වැදගත් ගනුදෙනු නිවසේ සිටම මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිදුකළ හැකි පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසීය.එවැනි ඩිජිටල් රාජ්‍ය සේවා පද්ධතියක් හඳුන්වාදීමෙන් රාජ්‍ය ආයතන වෙත පැමිණීමේ අවශ්‍යතාව අඩු කිරීම, සේවා ලබාගැනීමට ගතවන කාලය හා වියදම අවම කිරීම මෙන්ම රාජ්‍ය සේවයේ විනිවිදභාවය වැඩි කිරීමද අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම බලපත්‍ර, සහතික, අයදුම්පත්, බදු හා වෙනත් රාජ්‍ය සේවා මාර්ගගත කිරීම මඟින් ජනතාව හා රාජ්‍ය ආයතන අතර පවතින සාම්ප්‍රදායික සම්බන්ධතා ක්‍රමය වෙනස් කිරීම රජයේ අරමුණ වී තිබේ.ජනාධිපතිවරයාට අනුව මෙය මෙරට රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ වැදගත් කඩඉමක් වනු ඇත. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් යනු නිලධාරීන් සංඛ්‍යාව හෝ වැටුප් පමණක් සම්බන්ධ කරුණක් නොව, ජනතාවගේ අවශ්‍යතාව කඩිනමින් හඳුනාගෙන නිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, වගවීම, විනිවිදභාවය සහ තාක්ෂණය කාර්යක්ෂමව භාවිත කිරීමද ඊට ඇතුළත් වන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

කාලීන පුවත්