අද සංචාරක හෝටල් ඉදිරිපිට ඇති “Foreigners Only” පුවරු හෙට “No Dogs, No Sri Lankans” ලෙසින් වෙනස් වේද?

ශ්‍රී ලංකාව යනු ලෝකයේ විවිධ රටවල සංචාරකයන්ට ආගන්තුක සත්කාරය ලබාදෙන රටක් ලෙස දිගු ඉතිහාසයකට හිමිකම් කියන දේශයකි. මුහුදු තීර, කඳුකරය, වනෝද්‍යාන, පුරාවිද්‍යාත්මක ස්ථාන මෙන්ම මෙරට ජනතාවගේ ආගන්තුක සත්කාරය ද විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගන්නා ප්‍රධාන සාධක වේ. එහෙත් එවැනි රටකම “විදේශිකයන්ට පමණයි” (Foreigners Only) යන අදහස මත ඇතැම් හෝටල් සහ ආපනශාලා දේශීය පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කිරීමේ සංස්කෘතියක් බිහිවෙමින් පවතී. මෙය බරපතළ සමාජීය, නීතිමය, සදාචාරාත්මක මෙන්ම සංචාරක කර්මාන්තයට ද අදාළ ප්‍රශ්නයකි.

මෙය හුදෙක් යම් පිරිසකට හෝටලයකට ඇතුළු වීමට අවසර නොදීමේ සිදුවීමක් ලෙස සරලව බැහැර කළ නොහැකිය. මන්ද යත්, ඒ සමඟම “මෙරට සංචාරක කර්මාන්තයේ බල අධිකාරිය කා සතු ද?”, “සංචාරකයා යනු විදේශිකයා පමණක් ද?” සහ “මුදල් ගෙවා පාරිභෝගික සේවාවක් ලබාගැනීමට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට තම රට තුළදීම වෙනස් කොට සැලකිය හැකි ද?” යන මූලික ප්‍රශ්න මතු කෙරෙන බැවිනි.

මෙහි වඩාත් වැදගත් මෙන්ම බරපතළ කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියයි. එහි 12(1) වගන්තිය අනුව සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියේ සමාන ආරක්ෂාවට ද හිමිකම් කියති. තවද 12(2) වගන්තිය මගින් ජාතිය, ආගම, භාෂාව, කුලය, ලිංගිකත්වය, දේශපාලන මතය, උපන් ස්ථානය වැනි කරුණු මත පුරවැසියකුට වෙනස් කොට සැලකීම තහනම් කර ඇත. විශේෂයෙන්ම 12(3) වගන්තිය මගින් එවැනි පදනම් මත සාප්පු, පොදු ආපනශාලා, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන සහ ආගමික ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකුට අසාධාරණ සීමාවක් පැනවීම තහනම් කර තිබේ.

එබැවින් “මෙය අපේ පෞද්ගලික ව්‍යාපාරයක් බැවින් අප කැමති පුද්ගලයන් පමණක් ඇතුළත් කර ගනිමු” යන තර්කය සෑම අවස්ථාවකදීම නීතිමය ආරක්ෂාවක් බවට පත්වන්නේ නැත. විශේෂයෙන් සංචාරක සේවා සපයන, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් නම්, සියලු සංචාරකයන්ට සාධාරණව සහ සමානව සේවා සැපයීම පිළිබඳ වගකීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් මේ සම්බන්ධයෙන් නිල නිවේදන නිකුත් කර තිබේ. එම අධිකාරියේ වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයක සඳහන් වන්නේ දේශීය සංචාරකයන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව ඇතැම් සේවා සපයන්නන් විදේශිකයන්ට පමණක් සේවා සපයන බව දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ ඩිජිටල් හා සමාජ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු විදේශීය සංචාරකයන්ට පමණක් ඉලක්ක කිරීම වැනි කරුණු අනාවරණය වී ඇති බවයි. ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන් සියලු සංචාරකයන්ට, දේශීය හෝ විදේශීය යන භේදයකින් තොරව සමාන සේවාවක් සැපයිය යුතු බව ද එහි පැහැදිලිව සඳහන් කර තිබේ. එවැනි වෙනස් කොට සැලකීම් සිදු කළහොත් ලියාපදිංචිය අවලංගු කිරීම දක්වා පියවර ගත හැකි බව අධිකාරිය අවධාරණය කරයි. එමෙන්ම මෙය කිසිදු බාධාවකින් තොරව වහා ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයකි.

අනෙක් අතට, මෙය අලුත්ම ප්‍රශ්නයක් ද නොවේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2022 ජනවාරි 18 වැනිදා නිකුත් කළ නිල නිවේදනයක ද “Foreigners Only” ප්‍රතිපත්තිය අනුගමනය කරන සංචාරක ආයතනවල බලපත්‍ර අවලංගු කළ හැකි බව ප්‍රකාශ කර තිබිණි. එම නිවේදනය මගින් දේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දුෂ්කර කාලවලදී පවත්වාගෙන යාමට ලබාදුන් දායකත්වය ද සිහිපත් කර තිබේ. මෙය ඉතා වැදගත් සිහිපත් කිරීමකි.

මෙවැනි සිදුවීම් පිළිබඳ කතා කරන විට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවේ පැවති සුනඛයන් එපා, ඉන්දියානුවන් එපා (“No Dogs, No Indians”) යන කතාව සිහිපත් වීම අහම්බයක් නොවේ. “No Dogs, No Indians” යනු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ (British Raj) ඉන්දියාවේ ක්‍රියාත්මක වූ වාර්ගික වෙනස්කම් කිරීම් සහ සමාජීය කොන්කිරීම් සංකේතවත් කරන ප්‍රසිද්ධ ඓතිහාසික වැකියකි. එම යුගයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පමණක් සීමා වූ සමාජ ශාලා (Whites-Only Clubs) සහ ආපනශාලා ඉදිරිපිට මෙවැනි පුවරු ප්‍රදර්ශනය කර තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එහෙත් එම ප්‍රකාශය අද ශ්‍රී ලංකාවේ ඇති වන තත්ත්වයට යොදා බැලීමේදී මතුවන සමාජ පණිවිඩය වැදගත් ය. යම් ස්ථානයක පුද්ගලයකුගේ ජාතිකත්වය, සමේ පැහැය හෝ සමාජ අනන්‍යතාව ඔහුට සේවාව ලබාදීමේ සුදුසුකමක් හෝ නුසුදුසුකමක් බවට පත්වන්නේ නම්, එය හුදෙක් ව්‍යාපාරික තීරණයක් නොව සමාජ විෂමතාවක් පිළිබඳ ගැඹුරු සංඥාවකි.

කෙසේ වෙතත්, මේ ප්‍රශ්නයේ අනෙක් පැත්ත ද නොසලකා හැරිය නොහැකිය. ඇතැම් හෝටල් සහ ආපනශාලා හිමියන් පවසන්නේ වත්මන් සමාජයේ ධනවතුන් සේ පෙනී සිටින, ආචාර විචාර සම්පන්න නොවූ දේශීය පාරිභෝගිකයන්ගෙන් සුළු පිරිසක් මත්පැන් පානය කිරීමෙන් පසු අශිෂ්ට ලෙස හැසිරීම, සේවකයන්ට බලපෑම් කිරීම, අනෙකුත් පාරිභෝගිකයන්ට බාධා කිරීම, දේපළවලට හානි කිරීම වැනි සිදුවීම් ඇති කරන බවයි. එවන් අවිචාරවත් හැසිරීම් එම හෝටල්වලට පැමිණෙන විදේශීය සංචාරකයන් තුළ අතිශය අයහපත් ප්‍රතිරූපයක් මැවීමට සමත් බවත්, ඉන් මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ හානියක් සිදු විය හැකි බවත් ඔව්හු පෙන්වා දෙති. එවැනි අත්දැකීම් හේතුවෙන් විදේශීය සංචාරකයන්ට වඩා සන්සුන් පරිසරයක් ලබාදීමේ අරමුණින් ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය පාරිභෝගිකයන් සීමා කිරීමට උත්සාහ කරන බව ද පැහැදිලි වේ. මෙය ද සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය යුතු තර්කයක් නොවේ. ව්‍යාපාරිකයකුට තම ආයතනයේ ආරක්ෂාව, සේවකයන්ගේ ආරක්ෂාව සහ අනෙකුත් පාරිභෝගිකයන්ගේ පහසුව ආරක්ෂා කිරීමට අයිතියක් තිබේ. නමුත් කිහිප දෙනකුගේ අයහපත් හැසිරීමක් සඳහා සමස්ත දේශීය ජනතාවටම දඬුවම් නොලැබිය යුතුය.

එහෙත් මත්පැන් පානය කර කලහකාරී ලෙස හැසිරෙන පාරිභෝගිකයා දේශීයයකු වුවද විදේශිකයකු වුවද එකම නීතියකට යටත් කළ හැකිය. ආයතනයේ නීති උල්ලංඝනය කරන පුද්ගලයාට සේවය ප්‍රතික්ෂේප කළ හැකිය. නමුත් “ඔබ ශ්‍රී ලාංකිකයකු නිසා ඇතුළට පැමිණිය නොහැක” යන සාමාන්‍ය නීතියක් පැනවීම ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි.

ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තයේ ඇති වැදගත්කම අද කිසිවකුට අලුතින් පැහැදිලි කළ යුතු නැත. 2025 වසරේදී මෙරටට සංචාරකයන් 2,362,521ක් පැමිණ ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 15.1ක වර්ධනයකි. 2025 වසරේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණ වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. 2026 වසරේ ද සංචාරක පැමිණීම් අඛණ්ඩව සැලකිය යුතු මට්ටමක පවතී. ජනවාරි සිට ජූලි දක්වා සංචාරකයන් 1,343,418ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.

මෙවැනි විශාල කර්මාන්තයක් තුළ දේශීය සංචාරකයා සම්පූර්ණයෙන්ම අමතක කිරීම ආර්ථික වශයෙන් ද දුරදිග යන තීරණයක් විය හැකිය. විදේශීය සංචාරකයන්ගේ පැමිණීම කාලගුණය, ගුවන් ගමන්, ජාත්‍යන්තර ආර්ථික තත්ත්වය, යුද්ධ සහ වෙනත් බාහිර සාධක මත වෙනස් විය හැකිය. එවැනි අවස්ථාවලදී දේශීය සංචාරක වෙළෙඳපොළ කර්මාන්තයට වැදගත් ආරක්ෂක පදනමක් බවට පත්විය හැකිය.

මෙහිදී ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති තවත් මානසිකත්වයක් පිළිබඳව ද සිතා බැලිය යුතුය. ඇතැම් අවස්ථාවලදී විදේශිකයකුට වැඩි ගෞරවයක් දැක්වීමත්, දේශීය පාරිභෝගිකයා අඩු තත්ත්වයේ පාරිභෝගිකයකු ලෙස සැලකීමත් අපගේ සමාජයේ දක්නට ලැබේ. එය අප සමාජය සතු සංග්‍රහශීලීත්වයේම එක් අන්තයකි.

මෙය හුදෙක් හෝටල් ක්ෂේත්‍රයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. සුදු සම මත පදනම්ව විදේශීය භාණ්ඩ, විදේශීය භාෂාව, විදේශීය පෙනුම සහ විදේශීය මුදල් ඒකකය සමඟ “උසස් බව” සම්බන්ධ කර ගැනීමේ යටත් විජිත මානසිකත්වයක අවශේෂ ඇතැම් අවස්ථාවලදී තවමත් අපගේ සමාජ චින්තනය තුළ පවතින බවට මෙවැනි සිදුවීම් සාක්ෂි සපයයි. එහෙත් සංචාරක කර්මාන්තයේ සැබෑ ගුණාත්මකභාවය මනිනු ලබන්නේ විදේශිකයාට පමණක් සිනහවෙන් සේවය කිරීමෙන් නොවේ. එකම ගුණාත්මකභාවයෙන්, එකම වෘත්තීයභාවයෙන් සහ එකම ගෞරවයෙන් සෑම පාරිභෝගිකයකුටම සේවය කිරීමෙනි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දේශීය හා විදේශීය සංචාරකයන් යන දෙපාර්ශ්වයටම ආරක්ෂිත සහ සතුටුදායක සංචාරක අත්දැකීමක් ලබාදීම තම වගකීමක් ලෙස දක්වා තිබේ. ඒ සඳහා සංචාරක පොලිස් සේවාවක් ද ක්‍රියාත්මක වන බව අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව ප්‍රශ්නයට විසඳුම විය යුත්තේ දේශීයයන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම නොව, අයහපත් හැසිරීම් පාලනය කිරීම සඳහා පැහැදිලි නීති පනවා ඒවා සියලු දෙනාට සමානව ක්‍රියාත්මක කිරීමයි.

අවසානයේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආරක්ෂා කරන්නේ විදේශිකයා පමණක් සිනහවකින් පිළිගැනීම නොව, මේ රටේ සෑම පුරවැසියකුටම තමන්ගේම රට තුළ ගෞරවයෙන් පිළිගැනීමේ සංස්කෘතියක් ගොඩනැඟීමයි. එසේ නොවුවහොත් අද “විදේශිකයන්ට පමණයි” (Foreigners Only) යන පුවරුවකින් ආරම්භ වන මෙම ප්‍රවණතාව හෙට “සුනඛයන් එපා, ශ්‍රී ලාංකිකයන් එපා” (No Dogs, No Sri Lankans) දක්වා දුරදිග යාමට ඉඩ තිබේ.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර