22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. ඒ සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කටයුතු කරන අතර, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති. අධිකරණය හමුවේ ඇති මෙම පෙත්සම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ යෝජිත සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබීම හේතුවෙනි. මෙම යෝජනාව සම්බන්ධයෙන් නීතිඥ සංවිධාන, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ. අගෝස්තු 31 වැනිදා වන විට පෙත්සම් 30ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් 27ක් සංශෝධනයට විරුද්ධව සහ තුනක් එයට පක්ෂව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

කාලීන පුවත්