පාස්කු ප්‍රහාර නඩුවේ නවුෆර් මවුලවි ඇතුළු 15කට වරදකරු තීන්දුවක්;9ක් නිදොස් කොට නිදහස්

2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා තිබූ ප්‍රධාන නඩුවේ විත්තිකරුවන් 24 දෙනාගෙන් නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනකු සියලු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (22) තීන්දු කළේය.විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රමනාතන් කන්නන් සහ සූජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ වසර පහකට ආසන්න කාලයක් විභාග වූ නඩුවක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. නඩුවේදී චෝදනා 23,270ක් සම්බන්ධයෙන් කරුණු සලකා බලා තිබූ අතර, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනකු සාක්ෂි ලබාදී තිබේ.අධිකරණය හමුවේ පැවති නඩුවේදී කුමන්ත්‍රණය කිරීම, පාස්කු ඉරුදින ප්‍රහාර සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.නඩුවේ 15 දෙනකු වරදකරුවන් බව තීන්දු කළ අතර, සෙසු විත්තිකරුවන් නව දෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සඳහන් කරමින් ඔවුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.වරදකරුවන් වූ 15 දෙනා අතර මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා, හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්, මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් ඇතුළු පිරිසක් වෙති.පසුව එම 15 දෙනාට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර, එක් විත්තිකරුවකුට වසර 260ක ද, සිව් දෙනකුට වසර 240 බැගින් ද, පස් දෙනකුට වසර 220 බැගින් ද, තවත් පස් දෙනකුට වසර 200 බැගින් ද සිරදඬුවම් නියම කර තිබේ. ඊට අමතරව වරදකරුවන්ගේ චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින සිදුවූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් කොළඹ, මීගමුව සහ මඩකලපුව ඇතුළු ප්‍රදේශවල දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර තිබූ අතර, පුද්ගලයන් 260කට වැඩි පිරිසක් මියගොස් තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වී තිබේ. මියගිය පිරිස අතර විදේශිකයන් 42 දෙනකු ද සිටි බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.මෙම නඩුවේ තීන්දුව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් පැවති දීර්ඝතම හා වඩාත් අවධානයට ලක් වූ අපරාධ නඩු විභාගයක අවසානයක් සනිටුහන් කරයි. කෙසේ වෙතත්, ප්‍රහාරයේ සමස්ත පසුබිම සහ ඊට සම්බන්ධ පුළුල් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳ විවිධ ප්‍රකාශ හා චෝදනා ඉදිරිපත්ව ඇති බවද වාර්තා වී ඇත. ඒ සම්බන්ධයෙන් කතෝලික පල්ලිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් පුළුල් විමර්ශන අවශ්‍ය බව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබේ.

කාලීන පුවත්