සුබලකුණක්;ප්‍රතිකාරයෙන් පසු කාවන්තිස්ස ඇතා යළි ගමන් අරඹයි

පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස ඇතා අද (28) උදෑසන යළි ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පසුගිය 24 වැනිදා උස්ගල සියඹලාන්ගමුව වැව ආසන්නයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇතාට ප්‍රතිකාර ආරම්භ කර තිබිණි. එම අවස්ථාවේදී ඇතාගේ දකුණු ඉදිරි පාදයේ ඉහළ කොටසේ තුවාලයක් නිරීක්ෂණය වී තිබූ අතර, පශු වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවෙන් පසු ශරීරයේ වෙඩි වැදීමකට අදාළ පැහැදිලි සලකුණු නොමැති බවද වාර්තා විය.ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරමින් සිටියදී ඊයේ (27) ලබාගත් වීඩියෝ දර්ශනවලින් ඇතාගේ පාදයේ පැවැති ඉදිමීම යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බවත්, ඇවිදීමේදී පැහැදිලි අසාමාන්‍යතාවක් නොපෙනුණු බවත් නිරීක්ෂණය වී තිබේ. එහෙත් පසුගිය දින කිහිපය පුරා ඇතා සියඹලාන්ගමුව වැව ආසන්නයේ කැලෑ රොදක එකම ප්‍රදේශයක රැඳී සිටීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුව තිබිණි.කෙසේ වෙතත් අද උදෑසන කාවන්තිස්ස ඇතා එම ස්ථානයෙන් ඉවත්ව වෙනත් ප්‍රදේශයක් කරා ගමන් කර ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සුබවාදී ලකුණක් මතුව තිබේ.වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් ඇතාගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවද වාර්තා වේ. ඊයේ වනවිටත් ඇතාගේ තුවාලය ආශ්‍රිත ඉදිමීම අඩුවී ඇති බවත්, ඔහු ජලයේ රැඳී සිටීමට වැඩි කැමැත්තක් පෙන්වන බවත් වනජීවී බලධාරීන් සඳහන් කර තිබිණි

කාලීන පුවත්