ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් බන්ධනාගාරයට විරෝධය

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (06) නියම කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, මේ වනවිට බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. විශේෂත්වය වූයේ උන්වහන්සේ චීවරයෙන් තොරව ගිහි ඇඳුමින් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටීමය.මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ කුරානය සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් මගින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණය උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කළේය. ඒ අනුව අත්අඩංගුවට පත්වීමෙන් පසු අද පළමු වරට මෙම නඩුවට අදාළව ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව ඔක්තෝබර් 23 වැනිදා යළි කැඳවීමට නියම කළේය.මේ අතර ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ චීවරය ඉවත් කර සාමාන්‍ය රැඳවියකුගේ ඇඳුමින් සැරසීම සම්බන්ධයෙන් ආගමික මට්ටමින් ද මතභේදයක් මතුව තිබේ.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරයේ සිටියදීත්, අධිකරණයට රැගෙන යන අවස්ථාවලදීත් චීවරයෙන් පෙනී සිටීමට අවස්ථාව සලසන ලෙසය.උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ ඥානසාර හිමියන් පාරාජිකා වරදකට පත්ව ඇති බවට හෝ චීවරය ඉවත් කිරීමට තරම් බරපතළ විනය වරදක් සිදුකර ඇති බවට තම සංඝ සභාවට කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවය. එවැනි තත්ත්වයක් තුළ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ තීරණය අදාළ මහා සංඝ සභාවේ විනය ක්‍රියාමාර්ගයකින් පසුව සිදුවිය යුතු බව ද එම ලිපියෙන් අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, ඥානසාර හිමියන් බන්ධනාගාරයට ඇතුළත් කර ඇත්තේ සාමාන්‍ය රැඳවියකු ලෙස බැවින් බන්ධනාගාර ක්‍රියාපටිපාටිය අනුව රැඳවියන්ට නියමිත ඇඳුම ලබාදීම සිදුකර ඇති බව බන්ධනාගාර පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබේ. ඊයේ (05) බන්ධනාගාර ප්‍රධානියා සඳහන් කර තිබුණේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සාමාන්‍ය බන්ධනාගාර වාට්ටුවකට යොමු කළ බවය. ඥානසාර හිමියන් වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා ද චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලය බන්ධනාගාර බලධාරීන්ට නොමැති බවට කරුණු ඉදිරිපත් කළ බව වාර්තා වේ. එහිදී විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ එම විරෝධය සම්බන්ධයෙන් ඉහළ අධිකරණයකට යොමුවීමට විත්තියට අවස්ථාව ඇති බවය.

කාලීන පුවත්