දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි – ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම්දීමක්

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොවන බවත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන බවත් එය උතුරු අක්ෂාංශ 15.1 සහ නැගෙනහිර දේශාංශ 91 ආසන්නයේ කේන්ද්‍රගතව පවතින අතර ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බවද පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව ද පවතින බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද කණ්ඩායම් සූදානම් කර ඇති බව ද පවසයි.

කඳුකර ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම් ලක්ෂණ පිළිබඳව විමසිලිමත් විය යුතු අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කරන අනතුරු ඇඟවීම් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙනලදි.

එමෙන්ම රාජාංගනය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහළ ජලපෝෂක ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව විශේෂ අවධානයෙන් යොමු වන ලෙසද පවසයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල කටයුතුවලින් වැළකී සිටින ලෙස ද දැනුම් දී තිබේන බවත්ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සහ සහාය ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකව පවතින බවත් සඳහන් කරයි.

පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ ආයතන නිකුත් කරන නිල නිවේදන සහ උපදෙස් පිළිපදින ලෙසත් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්