දේශීය වෙළෙඳපොළේ වියළි මිරිස් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, මීට පෙර කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක පමණ මිලකට අලෙවි වූ වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 1,600 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුවේ නොවැම්බර් 5 වැනිදා දෛනික මිල දත්ත අනුව දඹුල්ල වෙළෙඳපොළේ ආනයනික වියළි මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 1,605ක් දක්වා ඉහළ ගොස් තිබේ. එදිනට අදාළ තොග මිල රුපියල් 1,575ක් ලෙස සටහන් වී ඇත. පිටකොටුව තොග වෙළෙඳපොළේ මිල ද රුපියල් 1,510ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙලෙස වියළි මිරිස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉන්දියාවෙන් මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම අත්හිටුවීම බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගත් ආනයනික වියළි මිරිස් බහාලුම් 100කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවා ඇති බවයි.ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අදාළ වියළි මිරිස් තොග මෙරට ප්‍රමිතීන්ට අනුකූල නොවන බව තහවුරු වී තිබේ. එබැවින් එම තොග දේශීය වෙළෙඳපොළට නිකුත් නොකර නැවත ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු යොදා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කර ඇත.මෙම තත්ත්වයත් සමඟ ඉන්දියාවේ වෙළෙඳ හා අපනයන සංගම් ද ශ්‍රී ලංකාවට වියළි මිරිස් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එමගින් මෙරටට ලැබෙන වියළි මිරිස් සැපයුම අඩුවීම මිල ඉහළ යාමට බලපා ඇති බව ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.මේ අතර, මහ බැංකු දත්ත අනුව නොවැම්බර් 4 වැනිදා දඹුල්ලේ වියළි මිරිස් සිල්ලර මිල රුපියල් 1,315ක්ව පැවති අතර, ඊට පසුදින එය රුපියල් 1,605ක් දක්වා ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.වියළි මිරිස් යනු මෙරට දෛනික ආහාර පිසීමේදී බහුලව භාවිත වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකි. ඒ අනුව එහි මිල මෙලෙස ඉහළ යාම සාමාන්‍ය පාරිභෝගික ජනතාවට මෙන්ම ආපනශාලා සහ ආහාර සැකසුම් කර්මාන්තයට ද අමතර පිරිවැයක් ඇති කරන තත්ත්වයක් බවට පත්ව තිබේ.වියළි මිරිස් ආනයනය සම්බන්ධයෙන් පවතින ගැටලුවට විසඳුමක් ලැබී සැපයුම යථා තත්ත්වයට පත් නොවන්නේ නම් ඉදිරියේදී ද මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමේ අවදානමක් පවතී.