
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් පසුගිය දා අවසන් වූ ඇමරිකාවේ වාර මැද මැතිවරණය තවමත් විශාල වශයෙන් කතාබහට ලක්වන කාරණයකි. ට්‍රම්ප්ගේ පක්ෂය ලැබූ පරාජයත් සමග ඉරාන යුද්ධය අවසන් වේවි ද යන කාරණය ගැන ද ලොකු කතාබහක්, කුතුහලයක් ඇතිව තිබෙනු දැකිය හැකි වේ.
මෙය වාර මැද මැතිවරණය ලෙස හැඳින්වෙන්නේ ජනාධිපතිවරයකුගේ වසර හතරක ධුර කාලය මැද දී, එනම් වසර දෙකක් ගත වූ පසු පැවැත්වෙන නිසා ය. ට්‍රම්ප් මෙවර ජනාධිපති ධුරයට පත් වූයේ 2024 වසරේ නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙනි.

මෙම මැතිවරණයේ දී සිදුවන ප්‍රධානම කටයුත්තක් වනුයේ ඇමරිකානු කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩල සඳහා නියෝජිතයන් පත් කර ගැනීම යි. කොංග්‍රසය යනු අප රටවල පාර්ලිමේන්තුවට යම් සමානකමක් ඇති ආයතනයකි. ඇමරිකානු කොංග්‍රසය මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත වේ. එකක් නම් පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යි. අනෙක ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 435 කින් සමන්විත වන අතර සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ආසන ගණන 100 කි.
මෙවැනි මැතිවරණයක දී කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහාම නියෝජිතයන් තෝරා පත්කරගනු ලැබේ. ඊට අමතරව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ආසන 100 න් යම් කොටසක් සඳහා ද ඒ ආකාරයෙන්ම නියෝජිතයන් තෝරා ගැනේ. (සෙනෙට් මණඩලයේ නියෝජිතයන් 100 දෙනාගේම ධුර කාල එකවර අවසන් නොවන අතර එහි නියෝජිතයන් සියලු දෙනා එකම මැතිවරණයක දී තෝරා ගැනෙන්නේ නැත.) මෙවර තෝරාගැනුණේ ආසන 35 ක නියෝජිතයන් පමණි.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබූ ප්‍රතිඵලවලට අනුව රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිවාදීන් වන ඩිමොක්රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 න් 253 ක් දිනාගෙන තිබිණි. ඔවුන් සමස්තයක් ලෙස ආසන 261 ක් දිනාගනු ඇති බව විශ්වාස කෙරේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමිකර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ආසන 218 ක් පමණක් වන අතර ඩිමොක්රටික් පක්ෂය ඊට වඩා විශාල සංඛ්‍යාවක් ආසන හිමිකර ගෙන තිබේ. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට දැනට හිමිව ඇත්තේ ආසන 157 ක් පමණි. ඔවුන් සමස්තයක් ලෙස ආසන 174 ක් දිනාගනු ඇති බවට අනාවැකි පළ වී තිබේ.
සෙනෙට් මණ්ඩලයේ ද ආසන 54 ක් දිනාගනිමින් එහි ද බහුතරයක් හිමිකර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව සිටියි. එයට පත් වූ ස්වාධීන නියෝජිතයන් දෙදෙනෙකුගේ සහය ද ඩිමොක්රටික් පක්ෂයට ලැබේ. රිපබ්ලිකන් පක්ෂය හිමිකරගෙන ඇත්තේ සෙනෙට් මණ්ඩල ආසන 44 ක් පමණි.
පසුගිය කාලයේ මෙම මන්ත්‍රී මණ්ඩල දෙකේම බලය පැවතියේ රිපබ්ලිකන් පක්ෂය අතේ ය.
රිපබ්ලිකන් පක්ෂයේ මෙම දරුණු පරාජයට බලපෑ ප්‍රධානම කාරණය ලෙස සැලකෙන්නේ ජනතාව පෙළන ආර්ථික පීඩනය යි. ඇමරිකානුවන් මත මෙවැනි ආර්ථික පීඩනයක් පැටවී ඇත්තේ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත්, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවන වියදම වැඩි වීමත් නිසා ය. තම පක්ෂය ලැබූ පරාජයට ඉරාන යුද්ධය බලපෑ බව ට්‍රම්ප්ම පවා පිලිගෙන තිබීම විශේෂත්වයකි.
මෙම තත්වය තුළ ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමේ මාවතකට ට්‍රම්ප් පරිපාලනය එළැඹේවි ද? මෙය මේ වනවිට බොහෝ දෙනාගේ කුතුහලය යොමු වී ඇති ප්රශ්නයකි.
ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සහ කොංග්රස් මැතිවරණය 2028 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ. එහි දී නැවතත් පරාජය වීම වැලැක්වීමට නම් රිපබ්ලිකන් පක්ෂයට මෙවර වැටුණු අගාධයෙන් හැකි ඉක්මනින් ගොඩ ඒමට සිදුවනු ඇත. එය කිරීමට හැකිවනු ඇත්තේ ඉරාන යුද්ධය අවසන් කිරීමේ මාවතට පිවිස ජනතාවගේ ආර්ථික තත්වය යහපත් කිරීමෙනි. මෙම තත්වය තුළ ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි යම් දුරකට අපේක්ෂා කළ හැකි වේ.

2028 ජනාධිපතිවරණයට ට්‍රම්ප්ට තරග කිරීමට හැකියාවක් නැත. එහිදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වීමට වැඩි ඉඩක් ඇත්තේ වත්මන් උප ජනාධිපතිවරයා වන ජේ ඩී වෑන්ස් ය. වෑන්ස් යනු මුල පටන්ම යුද්ධයට යම් විරෝධයක් දැක් වූවෙකි. පසුගිය දා ලැබූ මැතිවරණ පරාජයෙන් පසු ඔහු තම සමාජ මාධ්‍ය පිටු ඔස්සේ කර තිබූ ප්‍රබල ප්‍රකාශයක් කාගේත් අවධානයට ලක්ව තිබිණි.
රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජයට ඉරාන යුද්ධය දැඩිව බලපෑ බව අවධාරණය කරමින් මෙම අගාධයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කළ හැකි කාරණා හතරක් ගැන වෑන්ස් සඳහන් කර තිබිණි. එම කාරණා නම් 1. ඉරාන යුද්ධය අවසන් කිරීම, 2 ජීවන වියදම/ උද්ධමනය අඩු කිරීම, 3. රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ප්‍රමුඛතාව ලබා දීම, 4. ඊශ්‍රායලය සමග ඇති සබඳතා ගැන යළි සලකා බැලීම යන ඒවා යි.

වෑන්ස්ගේ මෙම යෝජනාවලට ඉදිරියේ දී පක්ෂය තුළ වැඩි ඉඩක් හිමිවීමට ඉඩ තිබේ. මන්ද යත් දැන් පක්ෂයේ දේශපාලන අනාගතය නියෝජනය කරන්නේ ට්‍රම්ප් නොව වෑන්ස් වන නිසා ය.
මැතිවරණයෙන් අලුතෙන් පත් වූ කොංග්‍රසය වැඩ ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 3 වැනි දින යි. ඊට පෙර ඉරානය සමග යම් සාම ගිවිසුමකට එළැඹීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කිරීමට ඉඩ තිබේ.
ඩිමොක්රටික් පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වූයේ යුද්ධය අවසන් කරන බවටත්, ජීවන වියදම අඩු කරන බවටත් පොරොන්දු වෙමිනි.
මෙම තත්වය තුළ ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් වීම සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය වී තිබෙනු දැකිය හැකි වේ.
පසුගිය දිනවල වේගයෙන් ඉහළ ගිය ඉන්ධන මිල ද මේ වෙද්දී බෙහෙවින් පහළ වැටී ඇත. ටික දිනකට පෙර ඇ.ඩොලර් 115 ක් වැනි අගයක් ගෙන තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (06) පැවතියේ ඇ.ඩොලර් 94-97 අතර අගයක ය.
නිහාල් පීරිස්