යාපනයටත් මෙට්‍රෝ බස් සේවාව

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී සේවාව යාපනය දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව යාපනය නගරයේ මෙට්‍රෝ බස් රථ ධාවනය කිරීමට සුදුසු මාර්ග හඳුනා ගැනීම, තාක්ෂණික ශක්‍යතාව අධ්‍යනය කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් ඇගයීම ඇතුළු අරමුණු ඇතිව විශේෂ මාර්ග පරීක්ෂණයක් සහ පෙරහුරු ධාවනයක් ඊයේ (10) සිදු කර තිබේ.

මීට පෙර යාපනය වෙරළ පාරේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලයේදී යාපනයේ මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්විය.

යාපනයේ මෙට්‍රෝ බස් රථ සේවාව එළැඹෙන 2027 වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමට රජයේ ඉලක්කය වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කඩිනම් කිරීමටද අපේක්ෂිතයි.

ඒ අනුව අද පැවැති මාර්ග පරීක්ෂණයේදී පහත් පතුල් සහිත මෙට්‍රෝ බස් රථ ධාවනය කිරීමට සුදුසු මාර්ග හඳුනා ගැනීම, බස් රථවල තාක්ෂණික අවශ්‍යතා ඇගයීම, නගරය කේන්ද්‍ර කරගනිමින් නව බස් රථ නැවතුම්පොළ ඉදිකිරීම සහ ඒවා අසල පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීම ඇතුළු කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

කාලීන පුවත්