අර්චුනා මන්ත්‍රීවරයා මට මහ “ඇනයක්”! ඔහු පාර්ලිමේන්තුවේ වෙන තැනකට දමන්න-ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා, තමන්ට යාබදව අසුන් ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ අසුන වහා වෙනස් කරන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.2024 ජූනි 23 දිනැති ලිපියක් මඟින් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද “දිගින් දිගටම” තමන්ට වාචිකව අපහාස කිරීම, ප්‍රචණ්ඩත්වයෙන් තර්ජනය කිරීම සහ අපහාසාත්මක වදන් භාවිත කිරීම නිසා සිය රාජකාරි කටයුතු කරගෙන යාමට දැඩි බාධා එල්ල වන බවයි. “ඔහු පාර්ලිමේන්තුවේ මට පසෙකින් වාඩිකරවා ගැනීම තවදුරටත් කළ නොහැක්කක්” යැයි ලිපියේ සඳහන් වේ.
පොන්නම්බලම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ස්වාධීන කණ්ඩායමකින් තේරී පත් වූ මුල්වර මන්ත්‍රීවරයෙකු වන අර්චුනා මහතාට සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව, පිළිගත් දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර අසුනක් වෙන්කර දී ඇති බවයි. එබැවින් ඔහුගේ අසුන සභා ගර්භයේ වම්පස ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා වෙන්වූ කොටසට මාරු කරන ලෙස ඉල්ලීම කර තිබේ.
දෙපාර්ශවය අතර උණුසුම් වාදය අලුත් දෙයක් නොවේ.මෙම ආසන ගැටලුව 2025 ජනවාරි 7 වැනි දින ද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාදයකට තුඩු දුන්නේය. එදින අර්චුනා මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ අසුන වෙනස් කරන ලෙසයි. “එම මන්ත්‍රීවරයා මට මගේ මව සමග නිදාගන්න යැයි කිව්වා. මට ඔහු ළඟ වාඩිවෙන්න බෑ. අසුන වෙනස් නොකළොත් ඔහුට මගේ අතින් යමක් වුණොත් මට දොස් කියන්න එපා” යැයි අර්චුනා මහතා සභාවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම පොන්නම්බලම් මහතාව වරප්‍රසාද කමිටුවෙන් ඉවත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

කාලීන පුවත්