ඇමරිකා-ඉරාන යුද ගැටුම නිමා කරමින් ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන්: හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘතයි

ඇමරිකා-ඉරාන යුද ගැටුම නිමා කරමින් ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන්: හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘතයි

මුළු ලොවම කම්පා කරමින් මාස 4කට ආසන්න කාලයක් තිස්සේ පැවති ඇමරිකා-ඉරාන යුද ගැටුම නිමා කිරීම සඳහා දෙපාර්ශවයම නව ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට ඉලෙක්ට්‍රොනිකව අත්සන් තබා ඇති බව ජ්‍යෙෂ්ඨ අමෙරිකානු නිලධාරියෙක් තහවුරු කර තිබේ. මෙම ගැටුම 2026 පෙබරවාරි 28 වනදා අමෙරිකා-ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාරවලින් ආරම්භ වූ අතර, මේ හේතුවෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික ගමනාගමනය ද සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබුණි.

මෙම නව ගිවිසුම යටතේ ප්‍රධාන කරුණු කිහිපයකට දෙපාර්ශවයේම එකඟතාවය හිමිව ඇත. ඒ අනුව, දින 60ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර උපායමාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම ක්‍රියාත්මක වන පරිදි යළි විවෘත කෙරේ. මීට අමතරව, ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමට ද මෙයින් ප්‍රතිපාදන සැලසෙන අතර සමුද්‍ර සන්ධිය විවෘත වීමත් සමඟ කලාපයේ ඉන්ධන ප්‍රවාහන කටයුතු ද යළි සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.

ගිවිසුමේ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත අතර, මේ සති අන්තයේදී දෙපාර්ශ්වය අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ද ආරම්භ කිරීමට අමෙරිකානු නිලධාරීන් සැලසුම් කර ඇත. මෙම ගිවිසුම නිල වශයෙන් සනාථ කෙරෙන විධිමත් අත්සන් කිරීමේ උත්සවය එළඹෙන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද සහභාගී වීමට නියමිතය.

මෙම රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි පියවර මැදපෙරදිග කලාපයේ මාස ගණනාවක් තිස්සේ පැවති අස්ථාවරත්වය, නාවික ප්‍රවාහන බාධා සහ ගෝලීය බලශක්ති වෙළඳපොළේ පැවති නොසන්සුන්තාවය සමනය කිරීම වෙනුවෙන් තැබූ “වඩාත්ම වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රගතිය” ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරිබාබාඩි පවසා සිටියේ මෙය “යුද්ධය ස්ථිරවම අවසන් කිරීම” සඳහා තැබූ ඉතා වැදගත් පියවරක් වන බවයි. කෙසේ වෙතත්, වොෂින්ටනය අවධාරණය කරන්නේ ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක වීම ඉරානයේ අනුකූලතාවය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින බවයි. එබැවින් අමෙරිකාව සිය හමුදා ස්ථානගත කිරීම් දැනට ඒ අයුරින්ම පවත්වා ගෙන යන අතර, ඉරානයේ ශීත කළ අරමුදල් නිදහස් කිරීම සහ සම්බාධක සහන ලබාදීම වැනි කරුණු තීරණය වනුයේ “සත්‍යාපනය කළ හැකි සහ ආපසු හැරවිය නොහැකි” පියවරයන් මත පමණක් බව ද ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

කාලීන පුවත්