සුරේෂ් සලේට සිදු වූ වධහිංසා ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අද( 16) දාත් ක්‍රියාත්මක වේ.අදාළ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අද දිනයේත් ප්‍රකාශ ලබාගැනීම සිදුකරන බව මානව හිමිකම් කොමිෂන් සභාව තහවුරු කරයි.සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳ විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබේ. එහිදී සිරමැදිරිය තුළට නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩු රැසක් නිරීක්ෂණය වී ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි.හඳුනාගත් අඩුපාඩු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත. එමෙන්ම සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය ආසන්නයේ සිටි තවත් රැඳවියන්ගෙන්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මේ වනවිට රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ මහතාට ලැබෙන වෛද්‍ය පහසුකම් පිළිබඳවද මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ අවධානය යොමුකර ඇත.
විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර පසුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියදී මෙම වධහිංසා චෝදනාව ඉදිරිපත් වී තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි.

කාලීන පුවත්