
ක්ෂණික ගංවතුර ( Flash flood) යන්න මේ දිනවල නිතර ඇසෙන වදනකි. නමුත් එය හුදෙක් අසන්නට ලැබෙන්නක් නොව, අප අතුරින් යම් පිරිසකට හෝ මුහුණ දීමට සිදුවන ඛේදනීය අත්දැකීමක් වීමේ අවදානමක් ද පවතී.
ක්ෂණික ගංවතුර යනු ඉතා කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා, ඇළදොළ, ජලාපවහන පද්ධති හෝ පහත්බිම් ජලයෙන් යටවීමෙන් හටගන්නා හදිසි ගංවතුර තත්ත්වයකි. සාමාන්ය ගංවතුරක් ඇති වීමට සාපේක්ෂව වැඩි කාලයක් ගත විය හැකි නමුත්, ක්ෂණික ගංවතුරක් විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් ඇතුළත වර්ධනය විය හැකිය. එබැවින් ජනතාවට ආරක්ෂිත ස්ථානයකට යාමට ලැබෙන කාලය ඉතා සීමිත විය හැකිය. කඳුකර ප්රදේශවල තද බෑවුම් ඔස්සේ ජලය වේගයෙන් පහළට ගලා ඒම, නගරවල ජලය බැස යාමට ඇති මාර්ග අවහිර වීම සහ ජලාපවහන පද්ධතිවල ධාරිතාව ඉක්මවා යන වර්ෂාපතනයක් ඇති වීම මෙම තත්ත්වය තවත් උග්ර කරයි. ඒ අනුව, ක්ෂණික ගංවතුර යනු අප නොසිතන තරම් කෙටි කාලයක් තුළ මිනිස් ජීවිත හා දේපළ විශාල ප්රමාණයක් විනාශයට ලක් කළ හැකි ස්වාභාවික විපතකි.

ක්ෂණික ගංවතුරේ බිහිසුණු බව තේරුම් ගැනීමට එහි ඇති එයටම ආවේණික වූ විනාශකාරී ස්වභාවය හඳුනාගත යුතුය. වේගයෙන් ගලා එන ජලයට මිනිසුන් ඇදගෙන යාමටත්, වාහන ගසාගෙන යාමටත්, නිවාස හා ගොඩනැගිලිවලට හානි කිරීමටත් හැකියාව ඇත. ජලය සමඟ ගලා එන ගල්, දැව කඳන් සහ වෙනත් සුන්බුන් නිසා විනාශකාරී බව තවත් වැඩි වේ. ඇතැම් විට ගඟක ජල මට්ටම හදිසියේ ඉහළ යාම, කුඩා ඇළක් ප්රචණ්ඩ ජල ප්රවාහයක් බවට පත්වීම හෝ වියළිව පැවති ජල මාර්ගයකට එක්වරම ජලය ගලා ඒම පවා මාරාන්තික විය හැකිය. එබැවින් ජලය නොගැඹුරු බව පෙනෙන පමණින් එය හරහා ගමන් කිරීම ආරක්ෂිත යැයි සිතීම බරපතළ වරදකි.
ක්ෂණික ගංවතුර ඇති වීමට අධික වර්ෂාපතනය පමණක් නොව, මිනිස් ක්රියාකාරකම් ද සෘජුවම බලපාන බව අනාවරණය වී තිබේ. වනාන්තර විනාශ කිරීම, කඳුබෑවුම්වල අවිධිමත් ඉදිකිරීම් සිදු කිරීම, තෙත්බිම් ගොඩ කිරීම, ඇළදොළ සහ කාණු කසළවලින් අවහිර කිරීම මෙන්ම ස්වාභාවික ජල මාර්ග වෙනස් කිරීම ද ක්ෂණික ගංවතුර අවදානම වැඩි කරයි. නගර ප්රදේශවල කොන්ක්රීට් හා තාර ඇතිරූ මතුපිට වැඩි වන විට වැසි ජලය පොළොවට උරා ගැනීම අඩු වී, එය මතුපිටින් වේගයෙන් ගලා යයි. මේ නිසා කෙටි කාලයක් තුළ ජලය එක්රැස් වී මාර්ග, නිවාස සහ වෙළෙඳසල් ජලයෙන් යට විය හැකිය. එබැවින් මෙය ස්වාභාවික සංසිද්ධියක් වුවද, නිසි නාගරික සැලසුම්කරණය සහ පරිසර සංරක්ෂණය තුළින් එහි බලපෑම් යම් ප්රමාණයකට අවම කළ හැකිය.
ශ්රී ලංකාවේ අතීත හා මෑතකාලීන ආපදා සිදුවීම් දෙස බැලීමේදී ක්ෂණික ගංවතුරේ බරපතළකම මනාව පැහැදිලි වේ. 2024 වසරේ මැයි මාසයේදී අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ගංගා ද්රෝණි හා ප්රදේශ සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්යස්ථානයට සිදු විය. එවැනි සිදුවීම් මඟින් පැහැදිලි වන්නේ අධික වර්ෂාපතනය සහ හදිසි ජල ගැලීම් ජන ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල කරන බවයි. මෙවැනි ආපදා හේතුවෙන් ජීවිත හානි සිදුවීමට අමතරව, නිවාස, වගාබිම්, මාර්ග සහ වෙනත් යටිතල පහසුකම් විනාශ වීමෙන් ආර්ථිකයට ද විශාල බලපෑමක් ඇති වේ. එමෙන්ම ජනතාව අවතැන් වීම, පානීය ජලය දූෂණය වීම සහ විවිධ රෝග පැතිරීම වැනි අතුරු ප්රතිඵල ද ඇති විය හැකිය.
මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුත්තේ එල් නිනෝ තත්ත්වය හා ක්ෂණික ගංවතුර අතර සම්බන්ධය සරල හේතුඵල සම්බන්ධයක් නොවන බවයි. එල් නිනෝව මඟින් ගෝලීය වායුගෝලීය සංසරණ රටා වෙනස් වුවද, ශ්රී ලංකාවේ යම් ප්රදේශයක ක්ෂණික ගංවතුරක් ඇති වන්නේ කුමන අවස්ථාවේදී ද යන්න තීරණය වන්නේ වර්ෂාපතනයේ තීව්රතාව, වර්ෂාව පවතින කාලය, පසෙහි තෙතමනය, භූමියේ බෑවුම, ගංගාවල ජල මට්ටම සහ ජලාපවහන පද්ධතිවල තත්ත්වය වැනි සාධක රැසක් මතය. එබැවින් එල් නිනෝව පමණක් ක්ෂණික ගංවතුරට සෘජු හේතුව ලෙස හඳුන්වා දීම විද්යාත්මකව නිවැරදි නොවේ. එහෙත් එය සමඟ ඇති විය හැකි වර්ෂාපතන විචලනයන් පිළිබඳව අවධානයෙන් සිටීම අත්යවශ්යය.

එසේ නම්, ක්ෂණික ගංවතුරෙන් ආරක්ෂා වීමට අප කළ යුත්තේ කුමක්ද?
පළමුව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිය යුතුය. විශේෂයෙන්ම අධික වර්ෂාපතනයක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කළ විට, ගංගා, ඇළදොළ සහ පහත්බිම් ආශ්රිතව ජීවත් වන ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය. ගංවතුරක් ඇති වීමේ ලකුණු පෙනේ නම්, බලධාරීන්ගේ උපදෙස් අනුව උස් හා ආරක්ෂිත ස්ථානයකට යා යුතුය. ගංවතුරෙන් යට වූ මාර්ග හරහා පයින් හෝ වාහනවලින් ගමන් කිරීමට උත්සාහ නොකළ යුතු අතර, ගලා යන ජලයට බැසීමෙන් ද වැළකිය යුතුය.
එමෙන්ම නිවසේ හදිසි අවස්ථා සඳහා අවශ්ය ඖෂධ, පානීය ජලය, වියළි ආහාර, විදුලි පන්දම, බැටරි, වැදගත් ලේඛන සහ ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සූදානම් කර තබා ගැනීම වැදගත් වේ. කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ විශේෂ සහාය අවශ්ය පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. ගංවතුර ජලය බැස ගිය පසුව පවා එය දූෂිත විය හැකි බැවින්, පානීය ජලයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සහ විදුලි රැහැන් හානි වී ඇති ස්ථානවලින් ඈත්ව සිටීම ද අත්යවශ්ය වේ. අසත්ය පුවත් හා තහවුරු නොකළ සමාජ මාධ්ය පණිවිඩවලට නොරැවටී, නිල මූලාශ්රවලින් තොරතුරු ලබා ගැනීම ද වගකීම් සහගත පුරවැසි ක්රියාවකි.

ක්ෂණික ගංවතුරේ අවදානම අවම කිරීම සඳහා රජයේ ආයතනවලට පමණක් වගකීම පැවරීම ප්රමාණවත් නොවේ. ප්රාදේශීය පාලන ආයතන විසින් කාණු පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම, අවහිර වූ ජල මාර්ග පිරිසිදු කිරීම, ගංවතුර අවදානම් කලාප හඳුනා ගැනීම සහ නිසි නාගරික සැලසුම්කරණයක් ක්රියාත්මක කිරීම වැදගත් වේ. පාසල්, ආගමික ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ ප්රජා කණ්ඩායම් ද ආපදා පෙර සූදානම් වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන්වලට දායක විය යුතුය. වනාන්තර හා තෙත්බිම් සංරක්ෂණය කිරීම, අවිධිමත් ඉදිකිරීම් පාලනය කිරීම සහ පරිසරයට හානි නොවන ජීවන රටාවන් අනුගමනය කිරීම මඟින් ද ගංවතුර අවදානම අවම කර ගැනීමට හැකියාව පවතී.
තවද, දේශගුණික විපර්යාස හමුවේ ආපදා කළමනාකරණය නවීන තාක්ෂණය හා විද්යාත්මක දැනුම මත පදනම් විය යුතුය. කාලගුණ අනාවැකි පද්ධති වැඩිදියුණු කිරීම, ගංගා ජල මට්ටම් නිරීක්ෂණය කිරීම, අවදානම් ප්රදේශ සඳහා කල්තියා අනතුරු ඇඟවීම් ලබා දීම සහ ජනතාවට එම අනතුරු ඇඟවීම් කඩිනමින් සන්නිවේදනය කිරීම ඉතා වැදගත් වේ. අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම පමණක් ප්රමාණවත් නොවන අතර, එය ජනතාවට තේරුම් ගත හැකි ආකාරයෙන් ලබා දීමත්, එයට අනුව ක්රියා කිරීමට අවශ්ය පහසුකම් සැලසීමත් අත්යවශ්යය. මෙවැනි ක්රියාමාර්ග ඔස්සේ ජීවිත හානි අවම කරමින් ආපදාවලට ඔරොත්තු දෙන සමාජයක් ගොඩනැඟිය හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ, එල් නිනෝව හා සම්බන්ධ විය හැකි කාලගුණික වෙනස්කම් අතර ක්ෂණික ගංවතුර යනු මිනිස් ජීවිත, දේපළ, ආර්ථිකය සහ පරිසරය එකවර අභියෝගයට ලක් කළ හැකි බිහිසුණු ස්වාභාවික ආපදාවක් බවය. එය හදිසියේ ඇති වන බැවින් අනතුර හඳුනාගෙන ආරක්ෂිත ස්ථානයකට යාමට ලැබෙන කාලය ඉතා සීමිතය. එබැවින් අධික වර්ෂාවක් ඇදහැලෙන තෙක් බලා සිටීම වෙනුවට, එවැනි අවදානම් පිළිබඳව කල්තියා දැනුවත් වී සූදානම් වීම වඩාත් වැදගත්ය. ස්වභාවධර්මයේ සියලු වෙනස්කම් අපට පාලනය කළ නොහැකි වුවද, නිසි සැලසුම්කරණය, පරිසර සංරක්ෂණය, විද්යාත්මක දැනුම සහ සාමූහික වගකීම තුළින් ඒවායෙන් සිදුවන හානි අවම කර ගත හැකිය. එබැවින් ක්ෂණික ගංවතුරේ බිහිසුණු බව අවබෝධ කරගෙන, අනතුරු ඇඟවීම් පිළිපදිමින්, ආරක්ෂාවට මුල් තැන දෙන සමාජයක් ගොඩනැඟීම අප සැමගේ පොදු වගකීමයි.
ඒ. ජී. රේණුකා දමයන්ති