
මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් පසුගියදා රොබට් නොක්ස්ගේ පොතේ තිබුණා යැයි කියූ දුම්රිය එන්ජිමක් සම්බන්ධ සඳහන ගැන උන්වහන්සේ අවඥාවට ලක් කරමින් ලියා ඇති ලිපි කිහිපයක්ම මට දක්නට ලැබුණි. උන්වහන්සේගේ මේ කතාවේ යෝග්‍ය බව හෝ ලිංගික අධ්‍යාපනය ලබා දීම පිළිබඳ උන්වහන්සේගේ ආකල්පය ගැන මම මෙහි කිසිවක් නොකියමි. එහෙත්, දහනව වන සියවසේ රොබට් නොක්ස් නමින් ඉංග්‍රීසි නිලධාරියකු මෙරට සිටි බවත්, ඔහුගේ රැකියාව අනුව ඔහු දුම්රිය පිළිබඳව මෙරට වැසියන්ගේ ප්‍රතිචාර පිළිබඳව හොඳින්ම දැන සිටි පුද්ගලයකු බවත් පැහැදිලිවම මට කිව හැකිය.

රොබට් නොක්ස් කී සැනින් දෙවන රාජසිංහ රජ සමයේ උඩරට සිරකරුවකුව සිට පසුව ලංකාව ගැන සුප්‍රකට ග්‍රන්ථය රචනා කළ පුද්ගලයා ගැන පමණක් අසා ඇති අයට කොටපිටියේ හාමුදුරුවන්ගේ ප්‍රකාශය විකාරයක් ලෙස පෙනීම පුදුමයට කරුණක් නොවේ. එමෙන්ම නමේ සමාන බව නිසා මේ දෙදෙනා පටලවා ගැනීම ද මෙකල ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය නොකළ කෙනෙකු අතින් සිදුවිය හැකි අතපසුවීමක් ලෙස ද සැලකිය හැකිය.

1860 ගණන්වල මෙරට දුම්රිය සේවය ආරම්භ කිරීමේදී ඒ සම්බන්ධ විශාල වගකීම් දැරුවේ පොදු වැඩ දෙපාර්තමේන්තුව (Public Works Department) හෙවත් ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව ලෙස තවමත් හඳුන්වනු ලබන P.W.D. ය විසිනි. 1885-1896 අතර කාලයේදී මේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වූයේ රොබට් නොක්ස් මැක්බ්‍රයිඩ් (Robert Knox MacBride) මහතාය. ඔහු මේ තනතුරට පත්වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස සංවිධානය වී තිබුණත්, පාලම් ඉදිකිරීම සහ දුම්රිය ස්ථාන ආශ්රිත ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීම් වැනි කාර්යයන් ඔහුගේ නායකත්වය යටතේ පැවති පොදු වැඩ දෙපාර්තමේන්තුව (P.W.D.) විසින් සිදු කරනු ලැබීය. එකල සිය දෙපාර්තමේන්තුවට අදාළ පාලන වාර්තා රැසක් ද ඔහු විසින් ලියනු ලැබ ඇත.

මේ වාර්තාවල හෝ ඒ කාලයේ දුම්රිය පිළිබඳව ලියවුණු පුවත්පත් සහ අනෙකුත් ලේඛනවල හාමුදුරුවන් කී ආකාරයේ සඳහනක් නැතැයි ඉඳුරා කිව හැක්කේ කාටද? ලේඛනගත නොවූවත් දුම්රිය පිළිබඳව ලංකාවේ පමණක් නොව එංගලන්තයේ පවා එහි ආරම්භක අවධියේදී මහජනයා අතර අපූරු සංවාදයන් හටගෙන ඇත. ඒවා පිළිබඳව අසා ඇති අයට නම් හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ ලොකු අරුමයක් දැනෙන්නේ නැත.
දුම්රිය කළුතරින් දකුණට ව්‍යාප්ත වූයේ මෙකල ය. කළුතර පාලමේ අවසන් ඉදිකිරීම් කටයුතුත් බෙන්තර පාලමේ ඉදිකිරීමත් සිදු වූයේ රොබට් නොක්ස් මැක්බ්රයිඩ්ගේ කාලයේය. එහෙයින් කොටපිටිය වැනි ගම්වල ඔහුගේ නම සහ ඔහු කළ කී දෑ පිළිබඳ මතකයක් ඇතැම් උගත් ගම්වැසියන්ට තිබෙන්නට ඇත. මේ රොබට් නොක්ස්ගේ මතකයත් අර රොබට් නොක්ස්ගේ නාමයත් පැටලෙන්නට ඇත්තේ එලෙසය.
අවාසනාවකට මෙන් හාමුදුරුනමකගේ කුමන හෝ වැරදීමක් වනතුරු බලා සිටින මෙරට බොහෝ දෙනෙකු තමන්ට ද වැරදී ඇති බව තේරුම් ගන්නේ බොහෝ කල් ගත වූ පසුය.
මහාචාර්ය අනුර මනතුංග හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්