කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තිඹිරි ගෙය වන් පොළේ කතාව ඒ.ජී. රේණුකා දමයන්ති

මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 26 වැනි පොත් ප්‍රදර්ශනයයි. වසරකට වරක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දැනුමෙන් පිරී යන මේ මහා “පොළ” දෙස බලන විට මගේ සිත තුළ පැරණි ප්‍රශ්නයක් යළි මතු විය. ඒ පොළ යනු ඇත්තටම කුමක්ද යන්නයි.

පොළ යනු ගනුදෙනු බිමක් පමණක් නොවේ. එය මිනිසා විසින් නිර්මාණය කරන ලද පැරණිතම ප්‍රජා සහ සමාජ සබඳතා අවකාශයන්ගෙන් එකකි.

දුරාතීතයේ වනගතව ජීවත් වූ මිනිසා ග්‍රාමවාසය ආරම්භ කිරීමටත් පෙර සිටම භාණ්ඩ හුවමාරුව පැවතිණි. මානව විද්‍යාඥයන්ගේ සඳහන් කිරීම් අනුව, මුල්කාලීන වෙළෙඳ ක්‍රමයක් ලෙස සැලකෙන “නිහඬ හුවමාරුව” එහි එක් ආකාරයකි. එක් ගෝත්‍රයක පිරිසක් ගල් ආයුධයක් කිසියම් ගසක්, ගලක් හෝ ගඟක් අසල තබා ගිය අතර, අනෙක් ගෝත්‍රයක පිරිසක් එය රැගෙන ඒ වෙනුවට මුව මස් වැනි භාණ්ඩයක් තබා යා හැකි විය. වචනයක්වත් නැත. වෙනත් සම්බන්ධතාවක් ද නැත. එහෙත් ඒ හුවමාරුව සඳහා අවශ්‍ය වූ විශ්වාසය තිබිණි.

පසුකාලීනව කෘෂිකර්මාන්තයත් සමඟ මේ නිහඬ හමුවීම වඩාත් සංවිධානාත්මක විය. මිනිසාගේ පරිභෝජනය ඉක්මවා නිෂ්පාදන අතිරික්තයක් බිහිවීමත් සමඟ පොළේ උපතට අවශ්‍ය පසුබිම සකස් විය. තම පරිභෝජනයට වඩා ධාන්‍ය තිබූ ගොවියාට, තමාට අවශ්‍ය ලුණු හෝ වෙනත් භාණ්ඩ තිබූ ධීවරයා හමුවීමට සිදු විය. මුදල් සොයාගැනීමට වසර දහස් ගණකට පෙර ලෝකයේ මුල් වෙළෙඳ අවකාශ බිහි වූයේ මෙවැනි හුවමාරු අවශ්‍යතා පදනම් කරගෙන ය.

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සහස්‍රය වන විට මෙසපොතේමියාවේ නගර ආශ්‍රිතව භාණ්ඩ ගබඩා කිරීම, බෙදාහැරීම සහ හුවමාරුව සඳහා සංවිධානාත්මක අවකාශ පැවති බව පුරාවිද්‍යාත්මක සාධකවලින් පෙනී යයි. පසුව මුදල් භාවිතය ව්‍යාප්ත වීමත් සමඟ භාණ්ඩ හුවමාරුව තවත් පහසු විය. තම නිෂ්පාදන කර මත හොවාගෙන පැමිණි ගොවියාට ඒවා අලෙවි කිරීමෙන් ලැබුණු මුදල් පසුම්බියක දමාගෙන යා හැකි විය.

පොළ යනු එක් සංස්කෘතියකට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය මිනිසාගේ අවශ්‍යතා මත ලෝකයේ විවිධ ප්‍රදේශවල ස්වාධීනව වර්ධනය වූ සමාජ ආයතනයකි.

පුරාණ ග්‍රීසියේ “ඇගෝරා” යනු නාගරික පොළක් පමණක් නොවීය. එය වෙළෙඳාම, දේශපාලනය සහ සමාජ ජීවිතය එකිනෙක හමුවන පොදු අවකාශයක් විය. සොක්‍රටීස් වැනි දාර්ශනිකයන් ජනතාව සමඟ සාකච්ඡා කළේද එවැනි පොදු අවකාශවලය. දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම සහ සමාජ සංවාද පැවැත්වීමද එහි සිදු විය. එබැවින් ඇගෝරා යනු භාණ්ඩ අලෙවි කරන ස්ථානයකට වඩා පුළුල් වූ පොදු ජන අවකාශයකි.

රෝමයේ “ෆෝරම්” ද එවැනිම බහුකාර්ය අවකාශයකි. එහි වෙළෙඳ කටයුතු පමණක් නොව, නීති හා රාජ්‍ය කටයුතු, දේශපාලන ක්‍රියාකාරකම් සහ සමාජ උත්සව ද පැවැත්විණි. ඒ අනුව පුරාණ නගරවල පොළ යනු ආර්ථික කටයුතුවලට පමණක් සීමා වූ ස්ථානයක් නොව, සමාජය ක්‍රියාත්මක වූ පොදු අවකාශයක් බව පෙනේ.

පෙරදිග වෙළෙඳ සංස්කෘතිය තුළ “බසාර්” යන්නටද වැදගත් ස්ථානයක් හිමි වේ. පර්සියානු මූලයක් සහිත “බසාර්” යනු නිකම්ම කඩපේළියක් නොවේ. එය වෙළෙඳාම, ශිල්පීය කටයුතු සහ සමාජ හමුවීම් එකිනෙක බැඳුණු අවකාශයකි. ඉස්තාන්බුල්හි ග්‍රෑන්ඩ් බසාර් වැනි ඓතිහාසික වෙළෙඳ මධ්‍යස්ථාන එහි දිගු ඉතිහාසයට සාක්ෂි දරයි. ශ්‍රී ලංකාවේ භාවිත වන “බජාර්” යන්නද එම වචන පවුලට සම්බන්ධ වූවකි. ඉන්දියාවේ “හාට්” හෙවත් සතිපොළ සංස්කෘතියද ශ්‍රී ලංකාවේ සතිපොළ සමඟ සමාන ලක්ෂණ රැසක් දරයි.

ශ්‍රී ලංකාවේ පොළටද රාජ්‍ය ඉතිහාසය තරම්ම පැරණි පසුබිමක් තිබේ. පැරණි සාහිත්‍ය හා ඓතිහාසික මූලාශ්‍රවල වෙළෙඳ ස්ථාන, හට් සහ වෙළෙඳ වීදි පිළිබඳ සඳහන් වේ. පොළ යනු අපේ රටේ භාණ්ඩ හා සේවා හුවමාරුව, මූල්‍ය පරිහරණය, තොරතුරු හුවමාරුව සහ සමාජ සම්බන්ධතා සමඟ දීර්ඝ කාලයක් තිස්සේ බැඳී පැවති ආයතනයකි.

සාම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකයකදී පොළේ විශේෂත්වයක් වූයේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර ඇති දුර අඩු කිරීමය. එහිදී සිදුවන්නේ “කෙටි සැපයුම් දාමයකි.” අතරමැදියන් අඩුය. නැවුම් බව වැඩිය. නිෂ්පාදකයාට තම භාණ්ඩය පාරිභෝගිකයා වෙත සෘජුවම ගෙන යාමට අවස්ථාව ලැබේ.

එහෙත් වෙළෙඳ සමාජ යාන්ත්‍රණය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ අතරමැදියෝද එයට එක් වූහ. අද පොළේ සිටින අප්‍රියම චරිතය ලෙස බොහෝ විට සැලකෙන්නේ අතරමැදියාය. “අතරමැදියන් ගොවියා සූරනවා” යන චෝදනාවද අද ඊයේ ඇති වූවක් නොවේ.

එහෙත් ආර්ථික ඉතිහාසය දෙස බැලූ විට අතරමැදියාගේ කාර්යය සම්පූර්ණයෙන්ම නිෂේධාත්මක එකක් ලෙස දැකිය නොහැක. නුවරඑළියේ ගොවියාට තම එළවළු අස්වැන්න කොළඹට ගෙන ඒම සැමවිටම පහසු නැත. ධීවරයාට තම අල්ලාගත් සියලුම මාළු ගබඩා කර, ප්‍රවාහනය කර, රට පුරා බෙදා හැරීමටද නොහැක. අතරමැදියා විසින් ප්‍රවාහනය, ගබඩා කිරීම, බෙදාහැරීම, වෙළෙඳපොළ සම්බන්ධීකරණය සහ ඇතැම් අවදානම් භාර ගැනීම වැනි කාර්යයන් ඉටු කරයි. ගැටලුව ඇත්තේ අතරමැදියකු සිටීම තුළ පමණක් නොව, ඔහු ඉටු කරන කාර්යයට සාපේක්ෂව ඔහු ලබන ලාභය සහ වෙළෙඳපොළ බලය පිළිබඳවය.

අද මේ අතරමැදියාගේ ස්වරූපයද වෙනස් වී තිබේ. ඔහු දැන් “ප්ලැට්ෆෝම්” එකකි. එනම්, Etsy සහ Amazon වැනි ඩිජිටල් වෙළෙඳ වේදිකා නූතන අතරමැදියන්ගේ එක් ආකාරයකි.

පොත් ලෝකයේදීද ප්‍රකාශකයා යනු එක්තරා අර්ථයකින් අතරමැදියෙකි. ලේඛකයාගේ අත්පිටපත පොතක් බවට පත් කරන්නේ ලේඛකයා පමණක් නොවේ. සංස්කරණය, මුද්‍රණය, කවර නිර්මාණය, බෙදාහැරීම සහ අලෙවිය වැනි ක්‍රියාවලීන් ගණනාවක් ඒ සඳහා අවශ්‍ය වේ. ඒ නිසා ප්‍රකාශකයා, සංස්කාරකවරයා, මුද්‍රණකරු සහ බෙදාහරින්නා වැනි පාර්ශ්වයන් නොමැතිව බොහෝ පොත් පාඨකයා වෙත ළඟා වන්නේ නැත.

අප පොත් ප්‍රදර්ශනයකදී දකින්නේ නූතන පොළේ එක් වඩාත් සංකීර්ණ ස්වරූපයකි. එදා ගොවියා වී අස්වැන්නක් රැගෙන පොළට පැමිණියේය. අද ලේඛකයා බුද්ධිමය අස්වැන්නක් රැගෙන එයි. එහි ඇති වෙනස එපමණක් නොවේ. පොත් ප්‍රදර්ශනයකදී ගනුදෙනු වන්නේ භාණ්ඩයක් පමණක් නොව, දැනුම, අදහස්, අත්දැකීම් සහ පරිකල්පනය ද වේ.

සාම්ප්‍රදායික එළවළු පොළකදී ඔබ මිලදී ගන්නේ කිලෝවක බරකි. පොත් පොළකදී ඔබ මිලදී ගන්නේ ඇතැම් විට වසර විස්සක පර්යේෂණයක ප්‍රතිඵලයකි. තවත් පොතක ජීවිත කාලයක අත්දැකීම් සමුදායක් තිබිය හැකිය. තවත් පොතක ඇත්තේ ලේඛකයකුගේ මොහොතක පරිකල්පනයක් විය හැකිය.

ඒ නිසා පොත් පොළකදී පොතක “මිල” තීරණය වන්නේ එහි කඩදාසි සහ මුද්‍රණ වියදමෙන් පමණක් නොවේ. එය දැනුමේ පොළකි.

කොටින්ම අද වන විට ශිෂ්ටාචාරය වෙනස් වී ඇත. එහෙත් මිනිසාගේ කුසගින්න පමණක් නොව, දැනුමේ කුසගින්නද පොළ විසින් තවමත් සංසිඳුවනු ලබයි.

ලොව පුරා පැවති සාම්ප්‍රදායික පොළවල් භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම සඳහා පමණක් වෙන් වූ ස්ථාන නොවීය. විශේෂයෙන් පැරණි හා සතිපතා පැවැති පොළවල වෙළෙඳ කටයුතු සමඟ ජන ජීවිතයට අවශ්‍ය විවිධ සේවාද එකම ස්ථානයකින් ලබාගත හැකි විය. කතුරු සහ පිහි වැනි උපකරණ මුවහත් කිරීම, රැවුළු සහ කොණ්ඩා කැපීම වැනි සේවා ඒ අතර වූ අතර, ඇතැම් පොළවල අලුත්වැඩියා කටයුතු හා වෙනත් කුඩා ශිල්පීය සේවාද පැවති බව ඉතිහාස වාර්තාවල සඳහන් වේ.

එමෙන්ම පොළට පැමිණෙන ජනතාවගේ විනෝදාස්වාදය සඳහා මුදල් ගෙවා සහභාගි විය හැකි විවිධ ක්‍රීඩා, වාසනාව උරගා බලන ක්‍රීඩා සහ සරල විනෝදාත්මක ක්‍රියාකාරකම්ද ඇතැම් වෙළෙඳ පොළවල දක්නට ලැබිණි. ඒ අනුව පොළ යනු භාණ්ඩ හුවමාරු වන වෙළෙඳ ස්ථානයකට වඩා, වෙළෙඳාම, සේවා සැපයීම, විනෝදාස්වාදය සහ සමාජ සබඳතා එකිනෙක හමුවන බහුකාර්ය ජන අවකාශයක් ලෙස වර්ධනය වූ සමාජ ආයතනයක් බව පැහැදිලි වේ.

එබැවින් මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළද පොළේ මේ බහුකාර්ය ස්වභාවය දැකීම අරුමයක් නොවේ. එහි පොත් අලෙවි වේ. දැනුම හුවමාරු වේ. ලේඛකයෝ සහ පාඨකයෝ හමුවෙති. අදහස් සංසරණය වේ. නව සබඳතා ගොඩනැගේ. සාහිත්‍යය, කලාව, දැනුම සහ වෙළෙඳාම එකම අවකාශයකට පැමිණේ.

ඒ අර්ථයෙන් බලන විට කොළඹ පොත් ප්‍රදර්ශනය යනු පොත් විකිණීමේ ස්ථානයක් පමණක් නොවේ. එය වසරකට වරක් දැනුම, අදහස් සහ මිනිසුන් එකිනෙකා හමුවන නූතන පොළකි. මිනිසාගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් බිහි වූ පැරණි පොළ, අද ඔහුගේ දැනුමේ අවශ්‍යතාව වෙනුවෙන්ද හා සමාජමය ජීවිතයක් සඳහා නව ස්වරූපයකින් ජීවත් වෙයි.

ඒ.ජී. රේණුකා දමයන්ති

Uncategorized