ඩෙංගු මර්දන කටයුතුවල සක්‍රියව නියැළී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක්ද මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරුව සිටින බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 8 දෙනකුට ඩෙංගු රෝගය වැලඳී ඇති බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති කේ.පී.ඒ. බොරලැස්ස මහතා පවසයි. මේ අය අතරින් බහුතරයක් දෙනා ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කරන ලද ප්‍රදේශවල ඩෙංගු මර්දන කටයුතු සිදු කරන පිරිස් බවද හෙතෙම සදහන් කරයි.
මේ වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රට පුරා මේ වසරේදී මේ වන විට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,034ක් වේ. ජූලි මාසයේදී පළමු දින 8 තුළ පමණක් රෝගීන් 9,654ක්ද, පෙරේදා (08) දිනයේදී පැය 24ක කාලයක පමණක් රෝගීන් 1,500ක්ද වාර්තා වී ඇත. මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇතැයිද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.