ඩෙංගු මඬින්න රට පුරා විශේෂ මෙහෙ­යුම්

වේග­යෙන් ව්‍යාප්ත වෙමින් පව­තින ඩෙංගු වයි­ර­සය මර්ද­නය කිරීම සඳහා රාජ්‍ය ආය­තන, පාසල් සහ පළාත් පාලන ආය­තන ආව­ර­ණය වන පරිදි ගත යුතු ක්‍රියා­මාර්ග පිළි­බඳ චක්‍ර­ලේඛ නිකුත් කිරී­ම­ටත්, හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිල­ධාරී වසම් 600ක් ආව­ර­ණය වන පරිදි ජාතික ඩෙංගු මර්දන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­ම­ටත් රජය ඊයේ (22) තීර­ණය කර ඇත.

නිරි­ත­දිග මෝසම් සමය හේතු­වෙන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උව­දුර මර්ද­නය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැල­සුම් පිළි­බඳ සාක­ච්ඡා­වක් සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස සහ ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (22) පැවති අව­ස්ථා­වේදී මේ තීර­ණය ගන්නාලදි.

මේ වසරේ පළමු වරට එක් දින­කදි වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් ගණන ඊයේ (22) වාර්තා වූ අතර එය රෝගීන් 1096ක් ලෙස සට­හන් වී ඇත. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47179කි. මේ වසරේ මේ වන විට ඩෙංගු මරණ 28ක් වාර්තා වී ඇත. ඩෙංගු අව­දා­නම් සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කොට්ඨාස 112ක් හඳු­නා­ගෙන තිබෙන අතර වැඩිම ඩෙංගු ව්‍යාප්ති­යක් මහ­ර­ගම සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කොට්ඨා­ස­යෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ අව­ධා­ර­ණය කරයි.

ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවති මේ සාක­ච්ඡා­වේදී ත්‍රිවිධ හමු­දාවේ මූලි­ක­ත්ව­යෙන් අධී­ක්ෂණ ඒක­ක­යක් පිහි­ටු­වීම සහ නීති­මය ක්‍රියා­මාර්ග දැඩි කිරී­ම­ටද, මේ වන විට ප්‍රාදේ­ශීය මට්ට­මින් පිහි­ටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහ­ජන ආර­ක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කට­යුතු තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­ම­ටද තීර­ණය විය.

මේ වන විට පාසල්, කර්මා­න්ත­ශාලා, රාජ්‍ය ආය­තන සහ ආග­මික ස්ථාන බහුල වශ­යෙන් ඩෙංගු මදු­රු­වන් බෝවන ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථාන ආව­ර­ණය වන පරිදි කෙටි කාලීන ක්‍රියා­මාර්ග කඩි­නම් කිරී­ම­ටද නිය­මි­තයි. තවද වරින් වර ඇති­වන මෙවැනි ප්‍රව­ණතා මඟ හරවා ගැනී­මට ගත යුතු දිගු කාලීන ක්‍රියා­මාර්ග පිළි­බ­ඳ­වද මෙහිදී දීර්ඝ ලෙස සාක­ච්ඡා­වට ලක් විය.

කාලීන පුවත්