තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස තලපති විජේ අද දිවුරුම් දෙයි

තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස ‘තමිලග වෙන්ට්‍රි කළගම්’ (TVK) පක්ෂයේ නායක, ජනප්‍රිය නළු තලපති විජේ අද (10) දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් ඔහුව මෙම ධූරයට පත් කරනු ලැබුවේ ප්‍රාන්ත සභාව තුළ සිය බහුතර බලය තහවුරු කර පෙන්වීමෙන් අනතුරුවය.පසුගියදා පැවති මැතිවරණයෙන් විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය ආසන 108ක් දිනාගනිමින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගත්තද, රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය (ආසන 118) ලබා ගැනීමට එතෙක් අපොහොසත් වී තිබිණි. කෙසේ වෙතත්, තවත් දේශපාලන පක්ෂ පහක සහයෝගය ලබා ගනිමින් මන්ත්‍රීවරුන් 120කගේ බහුතර කැමැත්ත ලිඛිතව ඉදිරිපත් කිරීමට විජේ පියවර ගත්තේය. එම කරුණු සලකා බැලූ ආණ්ඩුකාරවරයා, නව රජයක් පිහිටුවන ලෙස ඔහුට නිල වශයෙන් ආරාධනා කළේය.නව මහ ඇමතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය අද ඉන්දීය වේලාවෙන් පෙරවරු 10.00 ට චෙන්නායිහි පිහිටි ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ සඳහා ඉන්දීය දේශපාලන නායකයින්, සිනමා තරු සහ විශාල පාක්ෂිකයින් පිරිසක් සහභාගී වීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.දශක තුනකට අධික කාලයක් දකුණු ඉන්දීය සිනමාවේ රජු ලෙස වැජඹුණු තලපති විජේ, පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමෙන් පසු මුහුණ දුන් පළමු ප්‍රධාන මැතිවරණය මෙය වීම විශේෂත්වයකි. එම්.ජී. රාමචන්ද්‍රන් සහ ජයලලිතා වැනි ජනප්‍රිය සිනමා තරු මෙන්ම විජේ ද තමිල්නාඩු දේශපාලන ගමන් මග වෙනස් කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.නව රජය පිහිටුවීමත් සමඟ තමිල්නාඩුවේ ද්වි-පක්ෂ දේශපාලන සංස්කෘතියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වනු ඇත.

කාලීන පුවත්