තව වසර හතරක් ඇතුළත කෘත්‍රිම බුද්ධියෙන් මිනිස් වර්ගයාට බිහිසුණු තර්ජනයක්?


මිනිස් වර්ගයාගේ අවසානය සිදු විය හැකි ආකාර කිහිපයක් ගැන මේ වනවිට විද්‍යාඥයින් වැනි උදවිය අනාවැකි පළ කර තිබේ. න්‍යෂ්ටික යුද්ධයක්, ඈත අභ්‍යවකාශයෙන් පාවී එන ග්‍රහකයක් (asteroid) පෘථිවියේ ගැටීමක්, දේශගුණික ව්‍යසනයක් වැනි දෙයකින් මිනිස් සංහතිය විනාශ වීමට ඇති ඉඩකඩ ගැන ඔවුහු පෙන්වා දෙති.

කෘත්‍රිම බුද්ධියේ දියුණුව නිසාත් යම් දිනෙක මිනිස් වර්ගයාට තර්ජනයක් එල්ල විය හැකි බවට කාලයක සිටම විද්‍යාඥයෝ අනතුරු අඟවමින් සිටිති. මෙම කාරණයට අදාළ අලුත් ආන්දෝලනයක් මෙයට ටික දිනකට පෙර ඇති විය. එයට හේතු වූයේ ඇමරිකාවේ ප්‍රධානම තාක්ෂණ සමාගම් දෙකක් වන OpenAI සහ Anthropic යන සමාගම්වල සේවය කළ කෘත්‍රිම බුද්ධි විශේෂඥයකු කළ බිහිසුණු අනතුරු ඇඟවීමකි.

ජේකබ් කොක්සන් නැමැති මෙම විශේෂඥයා පවසන්නේ මෙම දශකය අවසන් වීමට පෙර , එනම් තව වසර හතරක් තුළ කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් වර්ගයා ඉවරයක් කර දැමීමට ලොකු ඉඩක් තිබෙන බව යි. ඔහු එසේ පවසන්නේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිසි නියාමනයකින් තොරව ඉතා වේගයෙන් වර්ධනය වෙමින් ඇති තත්වය සැලකිල්ලට ගනිමිනි.

ජේකබ් කොක්සන්
ජේකබ් කොක්සන්

කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ වැඩ කරන බොහෝ දෙනා මේ බව හොඳින් දැන සිටින බව ද ඔහු පවසයි.එම තත්වය තුළ කොක්සන් අන්තිමට වැඩ කරමින් සිටි Anthropic සමාගමෙන් ඉවත් වී තිබිණි.

මෙම බොහෝ සමාගම් තරග දිවිල්ලක නිරතව සිටින බවටත්, මිනිස් වර්ගයාගේ ආරක්ෂාව දෙවැනි තැනට දමා ඇති බවටත් ඔහු චෝදනා කරයි.

කොක්සන් මේ අනතුරු ඇඟවීම කිරීමෙන් පසු Anthropic සමාගමේ තවත් විශේෂඥයකු වන ඉවාන් හියුබින්ගර් ද ඒ කතාව අනුමත කළේය. ඉදිරි දශකය තුළ කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් වර්ගයා විනාශ කරනු ලැබීමට 10% ක ඉඩක් ඇති බවක් ඔහු පැවසුවේය.

මෙම විශේෂඥයන් පවසන්නේ එය පිටසක්වල ජීවීන් විශේෂයකින් එල්ලවන තර්ජනයකට සමාන තර්ජනයක් බව යි.

කෘත්‍රිම බුද්ධිය මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන වේගය අනුව එය ළඟදීම මිනිස් පාලනයෙන් ගිලිහී යාමට ඉඩ ඇති බව බොහෝ කෘත්‍රිම බුද්ධි විශේෂඥයෝ පවසති. කෘත්‍රිම බුද්ධිය කරන්නේ මොනවාදැයි මිනිසුන්ට තේරුම් ගත නොහැකි දිනයක් එළැඹෙනු ඇති බවට ද අනාවැකි පළ වේ. මෙය ඊලෝන් මස්ක් වැනි ව්‍යවසායකයින් ද කලෙක සිට කරමින් සිටින අනතුරු ඇඟවීමක් බව සඳහන් කළ යුතු වේ.

මෙම පසුබිම තුළ මෙම ක්ෂේත්‍රයේ බොහෝ විශේෂඥයන් පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධියේ වේගවත් වර්ධනය නියාමනය කිරීම සඳහා එම සමාගම් මෙන්ම රාජ්‍ය මට්ටමින් ද ක්ෂණිකව පියවර ගත යුතුව ඇති බව යි. නමුත් සමාගම් අතර සහ රාජ්‍යයන් අතර පවතින තරගය නිසා මෙය නියාමනය කිරීම අපහසු වී ඇති බව විශේෂඥයෝ සඳහන් කරති.

ලෝකයේ සුපිරි බලවතුන් දෙදෙනා වන ඇමරිකාව සහ චීනය අතර ද කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ උණුසුම් බල අරගලයක් තිබේ. ඔවුන් මෙම ක්ෂේත්‍රය තුළ එකිනෙකා අභිබවා යාමට නිරන්තර අරගලයක නිරතව සිටියි. මෙය ද කෘත්‍රිම බුද්ධියේ වර්ධනය නියාමනය කිරීම අපහසු කර ඇති කාරණයකි.

මෙම රටවල් මිනිස් වර්ගයාගේ ආරක්ෂාවටත් වඩා මේ ක්ෂේත්‍රයේ ආධිපත්‍යය හිමි කර ගැනීම වැදගත් කොට සලකන බවට ද මේ පසුබිම තුළ චෝදනා එල්ල වේ. මෙය ඉතා කණගාටුදායක සහ භයානක තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කලින් සඳහන් කළ ජේකබ් කොක්සන්, ඉවාන් හියුබින්ගර් වැනි අය ගේ අනතුරු ඇඟවීම් හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා තිබූ ප්‍රතිචාරය ද බොහෝ පාර්ශ්වවල කණස්සල්ලට හේතු විය. කෘත්‍රිම බුද්ධි විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් ට්‍රම්ප් ගණන් නොගන්නා බවක් පෙනුනු අතර පසුගිය දිනෙක ඔහු සිය Truth Social සමාජ මාධ්‍ය පිටුවේ ලියා තිබුණේ කෘත්‍රිම බුද්ධිය ලෝකයේ පාලනය සියතට ගනු ඇති බවටත්, ඒ තුළ මිනිස් වර්ගයා විනාශ විය හැකි බවටත් පැවසෙන කතා ලොකු බොරුවක් බව යි. ඔහුට අනුව මෙය කෘත්‍රිම බුද්ධියේ වර්ධනයට එරෙහි විකෘති කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි.

ට්‍රම්ප් පවසන්නේ ඇමරිකාව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වර්ධනය පාලනය කිරීමට ගියහොත් එහි වාසිය චීනයට හිමි වනු ඇති බව ය. එම පසුබිම තුළ ට්‍රම්ප්ගේ මතය වන්නේ ඇමරිකාව තව දුරටත් මේ තාක්ෂණය දියුණු කළ යුතුව ඇති බව ය.

මෙයට කලෙකට පෙර ගෝලීය උණුසුම ඉහළ යාම පිලිබඳව විද්‍යාඥයන් පෙන්වා දුන් අවස්ථාවේ ද ට්‍රම්ප් එය ද බොරුවක් බව කීවේය. ඔහුට අනුව කෘත්‍රිම බුද්ධිය පිලිබඳව දැන් ඇතැම් විශේෂඥයින් කියන කතාව ද එවැනිම බොරුවකි.

කෙසේ හෝ වේවා, කෘත්‍රිම බුද්ධිය පිලිබඳ මේ ප්‍රශ්නය ගැන ටික දිනකට පෙර ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින්පිං අතර සාකච්ඡාවක් ඇති විය. ඒ පසුගිය 23 වැනි දින චීන ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකාවට පැමිණි අවස්ථාවේ ය. මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු ප්‍රධානම කාරණයක් වූයේ කෘත්‍රිම බුද්ධියෙන් එල්ල වන තර්ජන පිලිබඳ කාරණය යි.

කෘත්‍රිම බුද්ධිය වඩාත් ආරක්ෂිත බලවේගයක් බවට පත් කිරීම සඳහා දෙරට ඒකාබද්ධව යම් වැඩපිලිවෙලක් දියත් කිරීමට එකඟතාවක් ඇතිව තිබූ බව වාර්තා විය. එය බලාපොරොත්තු ඇති කරන සිද්ධියකි. නමුත් කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සීමා කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී තීරණයක් ගෙන තිබුණේ නැත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර