බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අවශ්ය පියවර ගැනීමට ත්රෛනිකායික මහා නාහිමිවරුන් මැදිහත් වන බව ලිඛිතව දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ දින දහයක් පුරා පැවැති සත්යග්රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්ය උලපනේ සුමංගල හිමියෝ ප්රකාශ කළහ.සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ ඊයේ (25) පස්වරුවේ පැවැති විශේෂ මාධ්ය හමුවකදී උන්වහන්සේ මේ බව නිල වශයෙන් දැනුම් දුන්හ.ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කළ මෙම සත්යග්රහය ඊයේ වන විට දසවැනි දිනයට එළඹ තිබිණි. එම කාලය තුළ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා රැඳී සිටි උද්යාන පරිශ්රයේ පුවරු ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව දැරූ උත්සාහයත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබිණි.මේ අතර, සත්යග්රහය විසුරුවා හැරීම සඳහා පොලිසිය අද (26) අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට ද වාර්තා පළ විය.කෙසේ වෙතත්, ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වී අවශ්ය කටයුතු සිදු කිරීමට මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහා නාහිමිවරුන් ලිඛිතව එකඟතාව පළ කර ඇති බව උලපනේ සුමංගල හිමියෝ සඳහන් කළහ.මහා නාහිමිවරුන්ගේ එම මැදිහත්වීමට ගරු කරමින් සත්යග්රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්රකාශ කළහ.කෙසේ වෙතත්, සත්යග්රහය අත්හිටුවීම ඥානසාර හිමියන් නිදහස් කර ඇති බවක් අදහස් නොකරන අතර, උන්වහන්සේගේ නිදහස සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීම මහා නාහිමිවරුන්ගේ මැදිහත්වීම මත සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.