නේපාලයේ රසුවා කලාපය හරහා ගලා බසින බෝත්කෝෂි ගඟේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 400කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බව නේපාල සංචාරක මණ්ඩලය වාර්තා කරයි.
අතුරුදන් වූවන් අතර විදේශිකයන් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 93 දෙනෙකු සිටින බව සඳහන් වන අතර, ඉන්දියානු ජාතිකයන් 105 දෙනෙකු ද ඒ අතර වන බව වාර්තා වේ. මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.
නේපාල වේලාවෙන් පෙරවරු 9ට පමණ චීන මායිම් ප්‍රදේශයෙන් පැමිණි දැවැන්ත ජල කඳක් සමග මෙම හදිසි ගංවතුර තත්ත්වය හටගෙන තිබේ. එමඟින් රසුවා දිස්ත්‍රික්කයේ තිමුරේ සහ සියෆ්රූබේසි ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශන මගින් ගංවතුරේ දැඩි බලපෑම සහ සිදුව ඇති විනාශය පැහැදිලිව දැකගත හැකි බව වාර්තා වේ. එක් දර්ශනයක දැක්වෙන්නේ සැඩ පහරට හසුවූ පාලමක මැද කොටස තත්පර කිහිපයක් ඇතුළත කඩා වැටී ජල පහර සමග ගසාගෙන යන ආකාරයයි.
නේපාල පොලිසිය විසින් නිකුත් කරන ලද තවත් වීඩියෝවක නිවාස රැසක් කඩා වැටෙන අයුරු දැක්වෙන අතර, නේපාල–ටිබෙට් මායිමේ පිහිටි රසුවාගධි ආගමන විගමන මධ්‍යස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වූ දර්ශන ද දැඩි අවධානයට ලක්ව තිබේ.
එම දර්ශනවල විශාල ජල කඳක් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල දෙසට කඩා වැදීමත් සමග සිය ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත දිව යන ආකාරය දැක්වේ.
මේ අතර නේපාල පොලිසිය සහ හමුදාව එක්ව විපතට පත්වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටී. ආපදා තත්ත්වය, සිදුව ඇති හානිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂාගේ ප්‍රධානත්වයෙන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ද කැඳවා තිබේ.