ඔස්ලෝ, ජූනි 15 – ස්ත්‍රී දූෂණ ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු වීම හේතුවෙන් නෝර්වේ ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන 29 හැවිරිදි මාරියස් බෝග් හොයිබි හට ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය විසින් වසර 4ක සිර දඬුවමක් අද නියම කර තිබේ. හොයිබිට එරෙහිව තිබූ ස්ත්‍රී දූෂණ චෝදනා 4න් 2කට ඔහු වරදකරු කර ඇත. අනෙක් ස්ත්‍රී දූෂණ චෝදනා 2න් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ. ඔහුට එරෙහිව මුළු චෝදනා 40ක් ඉදිරිපත් වී තිබූ අතර, ඉන් 34කට වරදකරු කර ඇත. ඒවාට ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය, පහරදීම්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි, රැඳවුම් නියෝග කඩකිරීම සහ රථවාහන වැරදි ඇතුළත් වේ. 2018 සිට 2024 දක්වා කාලය තුළ නින්දේ සිටි හෝ ප්‍රතිරෝධය දැක්වීමට නොහැකිව සිටි කාන්තාවන් 4 දෙනෙකුට ලිංගික අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි. එක් ස්ත්‍රී දූෂණයක් සිදුව ඇත්තේ ඔටුන්න හිමි කුමාරයාගේ නිල නිවස වන Skaugum මන්දිරයේ පහළ මාලයේදීය. සිර දඬුවමට අමතරව, හොයිබිට වින්දිතයින්ට වන්දි ගෙවීමට නියම කර ඇත. එමෙන්ම එක් වින්දිතයෙකුට එරෙහිව වසර 2ක රැඳවුම් නියෝගයක් ද පනවා තිබේ.හොයිබි ස්ත්‍රී දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කළද, ගෘහස්ථ හිංසනය, කිලෝග්‍රෑම් 3.5ක මරිජුවානා ප්‍රවාහනය කිරීම ඇතුළු සුළු චෝදනා කිහිපයකට වරද පිළිගෙන තිබිණි. නඩු විභාගයේදී ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ මානසික ගැටලු ගැන සඳහන් කරමින්, “මම බොහෝ දුරට හඳුනන්නේ මගේ මවගේ පුත්‍රයා ලෙස මිස වෙන කිසිවක් ලෙස නොවේ. ඒ නිසා ජීවිත කාලය පුරාම පිළිගැනීමක් සඳහා දැඩි අවශ්‍යතාවයක් මට තිබුණා” යැයි පවසා ඇත.අභිචෝදකයන් වසර 7 මාස 7ක සිර දඬුවමක් ඉල්ලා සිටියද, අධිකරණය වසර 4ක දඬුවමක් නියම කළේය. හොයිබිගේ නීතීඥ පෙටාර් සෙකුලික් ප්‍රකාශ කර ඇත්තේ ස්ත්‍රී දූෂණ චෝදනා 2 සහ ගෘහස්ථ හිංසන චෝදනාවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවයි. දඬුවම තවමත් අවසන් නොවන අතර අභියාචනයට අවස්ථාව ඇත.
මාරියස් බෝග් හොයිබි යනු මෙට්-මාරිට් කුමරිය ඔටුන්න හිමි හාකෝන් කුමරු විවාහ කරගැනීමට පෙර සිටි සබඳතාවයකින් ලැබූ පුත්‍රයාය. ඔහු රාජකීය පවුලේ සාමාජිකයෙකු වුවද නිල නාමයක් නොදරයි. ඔටුන්න හිමි හාකෝන් කුමරු සඳහන් කර ඇත්තේ හොයිබි රාජකීය මන්දිරයේ සාමාජිකයෙකු නොවන බවත්, නීතිය ඉදිරියේ ඕනෑම නෝර්වීජියානු පුරවැසියෙකු මෙන්ම වගකිව යුතු බවත්ය.සති 7ක් පුරා පැවති නඩු විභාගය මාර්තු මාසයේදී අවසන් වූ අතර, හොයිබිගේ ජංගම දුරකථනයෙන් ලබාගත් පණිවිඩ 800කට අධික ප්‍රමාණයක්, ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබිණි. සෞඛ්‍ය හේතූන් මත හොයිබි අධිකරණයට පෞද්ගලිකව පැමිණ නොසිටි අතර, සිරගෙදර සිට වීඩියෝ සම්බන්ධතාවයක් හරහා තීන්දුවට සවන් දුන්නේය.මෙම නඩු තීන්දුව නෝර්වේ රාජකීය පවුලේ ප්‍රතිරූපයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.