භාණ්ඩාගාර වංචාවට සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ සම්බන්ධ ද සෙවිය යුතුයි

මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බව කියන රුපියල් මිලියන 2.5ක් හෝ 5ක් පමණ වන මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු, නිල වශයෙන් අනාවරණය වීමටත් ප්‍රථම විපක්ෂයේ දේශපාලනඥයන් ප්‍රශ්න කිරීම බරපතළ සැකයකට තුඩු දෙන්නක් බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙවැනි වංචාවක් පිළිබඳ විමර්ශන පවත්වා තොරතුරු තහවුරු කර ගැනීමට සාමාන්‍යයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවන බවයි.නමුත් සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ අංශ මගින් තොරතුරු එළියට දැමීමට පෙර ප්‍රශ්න කිරීම පිටුපස කිසියම් අභිරහසක් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.”හැකර්වරුන් හරහා හෝ නිල විමර්ශන හරහා තොරතුරු එළියට ඒමටත් පෙර, මේ දේශපාලනඥයන්ට මෙම වංචාව පිළිබඳ තොරතුරු ලැබුණේ කෙසේද? මේ අය සහ අදාළ වංචාව අතර කිසියම් සම්බන්ධයක් තිබේදැයි යන්න වහාම සෙවිය යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.මහා භාණ්ඩාගාරයේ සිදුවන ඕනෑම අහිතකර බලපෑමක් රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද සෘජුවම බලපාන බවත්, මෙය රටේ මූල්‍ය ස්ථාවරත්වයට එල්ල වූ තර්ජනයක් බවත් සරත් මහතා සඳහන් කළේය.මෙහිදී දේශපාලන වාසි බැලීම පසෙක ලා, රාජ්‍ය සම්පත් විනාශ කරන මෙවැනි ‘පොදු සතුරාට’ එරෙහිව සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව එක්විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අරගල කළ යුතු මොහොතක, වංචාවන් පිටුපස සිටින බලවේග හඳුනාගෙන ඒවා පරාජය කිරීම රජයේ මෙන්ම විපක්ෂයේ ද වගකීමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

කාලීන පුවත්