මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලදැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සයිප්‍රසය වැනි ආරක්ෂිත මූල්‍ය කලාපයක් (Safe Haven) වෙත ගලා ගොස් ඇති බවට අනුමාන කරන බව ‘දිනන දකුණ’ සංවිධානයේ ප්‍රධානී, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ මෙම සිදුවීමේ ඇති බරපතළම තත්ත්වය වන්නේ රජයේ මුදල් අතුරුදන්ව ඇති පසුබිමක පවා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ පිළිබඳව අවසන් මොහොත දක්වාම ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර නොමැති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කිරීමට පියවර නොගැනීම බව ලක්තිලක මහතා මෙහිදී අනාවරණය කළේය. රජයේ මුදල් සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින නිලධාරීන් මෙලෙස අපරාධ විමර්ශන අංශ වෙත තොරතුරු ලබා දීම මගහැරීම බරපතළ ගැටලුවක් බවද ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඉහළම බලධාරියා වන පාර්ලිමේන්තුවට පවා මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මැදිහත් වීමට මෙතෙක් අවස්ථාව ලැබී නොමැති බවත්, ඊට හේතුව මුදල් අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති වීම බවත් හෙතෙම සඳහන් කළේය.”රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුව පවා මෙම බරපතළ තත්ත්වය පිළිබඳව මෙතෙක් දැනුවත් කර නැහැ. මුදල් අමාත්‍යාංශය විසින් අදාළ තොරතුරු පාර්ලිමේන්තුවෙන් සහ වගකිවයුතු විමර්ශන අංශවලින් වසන් කිරීම හරහා මෙම මූල්‍ය වංචාවේ සුලමුල සෙවීමට ඇති අවස්ථාව හිතාමතාම අහුරා තිබෙනවා.” යැයි ලක්තිලක මහතා වැඩිදුරටත් චෝදනා කළේය.මෙම මූල්‍ය වංචාව පිටුපස සිටින පුද්ගලයන් සහ අතුරුදන් වූ ජනතා මුදල්වලට සිදු වූ දේ වහාම හෙළිදරව් කරන ලෙස ‘දිනන දකුණ’ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.