මෙටා සමාගමට දඩයක්

එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණ විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් (Bryan Biedscheid) විසින්, මෙටා සමාගමේ මඟින් ළමයින්ට එල්ල වන තර්ජන සහ අවදානම් පිළිබඳව ජනතාවට අනතුරු ඇඟවීමට අපොහොසත් වීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 567ක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

විනිසුරුවරයාප්‍රකාශ කළේ මෙම සමාජ මාධ්‍ය දැවැන්තයා වායු දූෂණයකට සමාන මහජන පීඩාවක් වන බවත්, අනාගතයේදී සිදුවන හානි අවම කිරීම සඳහා වෙන් කළ අරමුදලකට මෙම මුදල් බැර කළ යුතු බවත්ය. මෙම නියෝගය, අදාළ නඩුවේදී මෙටා සමාගමට මීට පෙර ගෙවීමට නියෝග කළ ඩොලර් මිලියන 375ක දඩයට අමතරව ලැබුණක් වන අතර, ඒ අනුව මෙටා සමාගමට ගෙවීමට සිදුවන සමස්ත වන්දි මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ යයි.

විනිසුරු බීඩ්ෂයිඩ් විසින් මෙටා සමාගම කර්මාන්තශාලාවකට සමාන කළ අතර, එහි වෙළඳ දැන්වීම් සහ අන්තර්ගතයන් එහි නිෂ්පාදන ලෙසත්, ළමුන්ට සිදුවන මානසික හානිය සහ ලිංගික සූරාකෑම, මර්දනය කළ යුතු පරිසර දූෂණය ලෙසත් පෙන්වා දෙන ලදී.

“කර්මාන්තශාලාවකින් පිටවන අහිතකර දූෂක මඟින් පිරිසිදු වාතය ලබා ගැනීමට සාමාන්‍ය ජනතාවට ඇති පොදු අයිතියට හානි පමුණුවන්නා සේම, මෙටා ප්ලැට්ෆෝම් මඟින් ළමයින්ට සිදුවන හානිකර බලපෑම එහි ප්ලැට්ෆෝම්වලට පමණක් සීමා වී නොපවතී. ඒ වෙනුවට එය සමස්ත අන්තර්ජාලයටත්, වඩාත්ම කණගාටුදායක ලෙස සැබෑ ලෝකයටත් පැතිර යමින්, බලපෑමට ලක් වූ ළමයින්ට, ඔවුන්ගේ පවුල්වලට, පාසල්වලට මෙන්ම රෝහල්වලට සහ නීතිය බලාත්මක කරන ආයතනවලට පොදු, සමාජීය බරක් සහ හානියක් ඇති කරයි” ඔහු සඳහන් කළේය.

කාලීන පුවත්