මෙවර දිවයින පුරා වෙසක් දන්සල් 17,818 ක්!

මෙවර වෙසක් මහෝත්සවය නිමිත්තෙන් දිවයින පුරා සිව්දිගින් අතිවිශාල දන්සල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) පවසයි. ඒ අනුව සමස්ත ලංකා මට්ටමින් මෙවර සංවිධානය කර ඇති දන්සල් සංඛ්‍යාව 17,818 කි.පුණ්‍ය කාලය තුළ ජනතාවට පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන සැපයීම සහතික කිරීම වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අඛණ්ඩව සේවයේ යෙදවීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ලියාපදිංචි කර ඇති මෙම සියලු දන්සල් අද (31) දිනය තුළ ද විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි. ආහාර පිසින ස්ථාන, ජල ප්‍රභවයන් සහ ආහාර ගබඩා කර ඇති ආකාරය මෙන්ම සේවකයන්ගේ සෞඛ්‍ය පුරුදු කෙරෙහි ද මෙහිදී දැඩි අවධානයක් යොමු කෙරේ.ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා දන්සල් සංවිධායකයන් වෙත විශේෂ උපදෙස් මාලාවක් දැනටමත් නිකුත් කර තිබේ. කල් ඉකුත් වූ ද්‍රව්‍ය, තත්ත්වයෙන් බාල වර්ණක හෝ රසකාරක භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, නියමිත සෞඛ්‍ය ප්‍රමිතීන් උල්ලංඝනය කරන දන්සල් සංවිධායකයන්ට එරෙහිව ආහාර පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.මේ අතර, මෙවර වෙසක් සමයේ කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ වසර ගණනාවක සිට පැවත එන සාම්ප්‍රදායික බත්, නූඩ්ල්ස්, අයිස්ක්‍රීම් හෝ සිසිල් බීම දන්සල්වලින් ඔබ්බට ගිය, අලුත්ම මුහුණුවරක් ගත් සුවිශේෂී දන්සල් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වීමයි.සමාජ, සංස්කෘතික සහ ආර්ථික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි සංවිධානය කර ඇති මෙම නවතම දන්සල් කෙරෙහි වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාවගේ ඉහළ ආකර්ෂණයක් සහ කුතුහලයක් දිනා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, සෞඛ්‍ය සම්පන්න දේශීය ආහාර සහ ඖෂධීය පාන වර්ග, පලතුරු වර්ග මෙන්ම වෙනස්ම අත්දැකීම් රැගත් නිර්මාණශීලී දන්සල් රැසක් මෙවර වෙසක් කලාප ආශ්‍රිතව දැකගත හැකි වේ.වෙසක් සිරි නැරඹීමට පැමිණෙන මහජනතාවගෙන් ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ, තමන් පරිභෝජනය කරන ආහාර පානවල පිරිසිදුකම පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, උණුසුම් සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්ය.

කාලීන පුවත්