වැසි සමඟ කොළඹ, කළුතර හා කෑගල්ලට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අදියර 1 (කහ) විමසිලිමත්වීමේ නිවේදන නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (15) පෙරවරු 10.00ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම හෙට (16) පෙරවරු 10.00 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වේ.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ මෙම අනතුරු ඇඟවීමට ඇතුළත් කර තිබේ.
NBRO හි නායයෑම් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අනුව අදියර 1 යනු නායයෑම් අවදානම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු මට්ටමක් වන අතර, විශේෂයෙන් අධික වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර බෑවුම්, මාර්ග කැපීම් සහ කලින් නායයෑම් ලක්ෂණ පෙන්වා ඇති ප්‍රදේශ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.අඛණ්ඩව හෝ තද වැසි ඇති වුවහොත් පස් ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම, බෑවුම්වලින් මඩ සහිත ජලය ගලා ඒම, ගල් පෙරළීම් වැනි නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත්, එවැනි ලක්ෂණ දක්නට ලැබුණහොත් අවදානම් ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.ශ්‍රී ලංකාවේ නායයෑම් අවදානම විශේෂයෙන් වැසි සමයේදී ඉහළ යන අතර, NBRO පර්යේෂණවලට අනුව රටේ දිස්ත්‍රික්ක ගණනාවක සැලකිය යුතු භූමි ප්‍රමාණයක් නායයෑම්වලට සංවේදී ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

කාලීන පුවත්