ශ්‍රී ලංකාවේ ඔස්කාර් නිල නියෝජනය ලෙස ‘රිවස්ටර්න්’

එළඹෙන 99 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවස්ටර්න්’ (Riverstone) චිත්‍රපටය තෝරාගෙන තිබේ.මෙය ශ්‍රී ලංකාව විසින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා චිත්‍රපටයක් නිල වශයෙන් ඉදිරිපත් කරන පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. මීට පෙර ශ්‍රී ලාංකික චිත්‍රපට කිහිපයක් පෞද්ගලික මට්ටමින් ඔස්කාර් සම්මාන සඳහා ඉදිරිපත් වී තිබුණද, රටේ නිල නියෝජනයක් ලෙස චිත්‍රපටයක් තෝරා ගැනීම මෙවර පළමු වරට සිදුව ඇත.මෙවර ඒ සඳහා ‘විහඟ ප්‍රේමය’, ‘ආයු’, ‘ෆාදර්’, ‘ඇන්තනි’ (දෙමළ), ‘රිවස්ටර්න්’ සහ ‘ක්‍රිකට් සාදු’ යන චිත්‍රපට හයක් අයදුම් කර තිබිණි. කෙසේ වෙතත්, ඉන් චිත්‍රපට දෙකක් ඔස්කාර් සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් අවසන් වශයෙන් චිත්‍රපට හතරක් සලකා බලා තිබේ.එම චිත්‍රපට සුදුසුකම් නොලැබීමට බලපෑ ප්‍රධාන කරුණක් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට පෙර වෙනත් මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රදර්ශනය කර තිබීමයි. විශේෂයෙන් ‘ආයු’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනයට පෙර ගුවන් සේවා දෙකක ගුවන් යානා තුළ ප්‍රදර්ශනය කර තිබීම හේතුවෙන් සුදුසුකම් නොලැබීම විශේෂත්වයකි.‘රිවස්ටර්න්’ මෙලෙස තෝරා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා සිනමාවට ඔස්කාර් සම්මාන උළෙලේ නිල තරගකාරී ක්‍රියාවලියට පිවිසීම සඳහා නව අවස්ථාවක් උදා වී තිබේ.

කාලීන පුවත්