ෂෙයික් හසීනාගේ එකම දියණිය සයිමා වසේඩ්ට එල්ල වන වංචා දූෂණ චෝදනා මුස්ලිම් කතුන් පසුගන්වන්නක් නොවේ


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සයිමා වසේඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ වන විට බංග්ලාදේශ අධිකරණය මඟින් මරණ දඬුවම පමුණුවනු ලදුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙසෙන බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ එකම හා බාල දියණිය වන පනස් හතර වියැති ඇය සිය ඉල්ලා අස්වීම සිදුකර ඇත්තේ ඇයට එරෙහිව බංග්ලාදේශ බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකරන ලද වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අතරතුර ය. ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉල්ලා අස්වීමේ ලිපියෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය පිළිබඳව තමන් තුළ වූ විශ්වාසය පවා පළුදු වූ බව ද සඳහන් කර තිබේ.

සයිමා වසේඩ් 2024 පෙබරවාරි 1 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ ධුරයට පත්වූයේ වසර පහක ධුර කාලයක් සඳහා ය. එම ධුරයට පත් වූ පළමු බංග්ලාදේශ ජාතිකයා මෙන්ම එම කලාපයේ දෙවැනි කාන්තා අධ්‍යක්ෂවරිය වීම ද විශේෂත්වයකි. ඇය යටතේ බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, තායිලන්තය ඇතුළු රටවල් 11ක බිලියන දෙකකට අධික ජනතාවක් ආවරණය වන සෞඛ්‍ය වැඩසටහන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම පැවතිණි.

සයිමා වසේඩ් සිය මව ෂෙයික් හසීනා සමඟ

සයිමා වසේඩ්ගේ වෘත්තීය ජීවිතය ආරම්භයේ සිටම මානසික සෞඛ්‍යය, ළමාවියේ සිට ඇති වන ඔටිසම් (Autism) තත්ත්වය සහ ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ අයිතිවාසිකම් හා සමාජ ඇතුළත්කම සම්බන්ධයෙන් අවධානය යොමු වූවකි. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ බැරී විශ්වවිද්‍යාලයෙන් (Barry University) මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් සහ සායනික මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, පාසල් මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ පුහුණුවක් ද ලබා තිබේ.

ඇය බංග්ලාදේශයේ ඔටිසම් සහ ස්නායු සංවර්ධන ආබාධ පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ සභාපතිවරිය ලෙස ද කටයුතු කළාය. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මානසික සෞඛ්‍ය හා ඔටිසම් පිළිබඳ උපදේශකවරියක ලෙස 2019 සිට කටයුතු කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය විශේෂඥ උපදේශක මණ්ඩලයේ ද සාමාජිකාවක වූවාය. ඔටිසම් තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඇයගේ කාර්යභාරය හේතුවෙන් 2014දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලයේ ‘Excellence in Public Health’ සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවාය. 2017දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇය අග්නිදිග ආසියානු කලාපයේ ඔටිසම් පිළිබඳ ‘Champion’ ලෙස නම් කළ අතර, එම වසරේම ඔටිසම් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුහද තානාපතිවරියක ලෙස ද පත් කළේය. ඔටිසම් තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ මැදිහත්වීම් හේතුවෙන් බංග්ලාදේශයේ නීති හා ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කිරීමට ද ඇය දායක වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. විශේෂයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හා ස්නායු සංවර්ධන ආබාධ සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධ නීතිමය පියවර සඳහා ඇය දායක වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, ඇගේ ජාත්‍යන්තර වෘත්තීය ගමනට 2025 වසරේදී බරපතළ අභියෝග එල්ල විය. බංග්ලාදේශයේ අතුරු පාලනය යටතේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කොමිසම 2025 මාර්තු මාසයේදී ඇයට එරෙහිව නඩු පැවරූ අතර, වංචා සහ ව්‍යාජ ලේඛන සම්බන්ධ චෝදනා එහිදී ඉදිරිපත් විය. චීනයට සිදුකළ සංචාරයකට අදාළ වියදම් සම්බන්ධ අක්‍රමිකතාවක්, අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ නොමඟ යවන තොරතුරු ඉදිරිපත් කිරීම සහ බංග්ලාදේශයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධ චෝදනා ද පසුව වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇය 2025 ජූලි මාසයේ සිට වැටුප් රහිත අනිවාර්ය නිවාඩුවකට යොමු කර තිබූ අතර, ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර ඇත්තේ දිගු කාලයක් වැටුප් නොලැබීම හේතුවෙන් තම මූල්‍ය තත්ත්වය ද දැඩි අසීරුතාවකට පත්වූ බවයි. චීන සංචාරයේ වියදම් පිළිබඳ චෝදනාව තම සහායකයකු විසින් සිදුකළ පරිපාලන දෝෂයක් බවත්, තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් තමන් පැහැදිලි කර ඇති බවත් ඇය පවසා තිබේ. ඒ අනුව, සයිමා වසේඩ්ගේ ඉල්ලා අස්වීම චෝදනා ඔප්පු වී ඇති බවක් නොව, ඇයට එරෙහි විමර්ශන පවතින අවස්ථාවක සිදුවූ ධුරයෙන් ඉවත්වීමක් ලෙස සැලකිය යුතුය. එමෙන්ම මෙය බංග්ලාදේශ පාලනය විසින් සයිමා වසේඩ් මුල් කොට සිදු කරන දේශපාලන පළිගැනීමක් ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව අනාවරණය වී නැත.

සයිමා වසේඩ් මුස්ලිම් කාන්තාවක් වීමත්, ලෝකයේ ප්‍රධානතම සෞඛ්‍ය ආයතනයක කලාපීය නායකත්වයකට පත්වූ කාන්තාවක් වීමත් නිසා, ඇගේ ඉල්ලා අස්වීම පිළිබඳ සිදුවීම මුස්ලිම් කාන්තාවන්ගේ නියෝජනය සම්බන්ධයෙන් සංකේතාත්මක වැදගත්කමක් දරයි.

සයිමා සිය මව ෂෙයික් හසීනා සහ බාල සොයුරු සජීබ් වසේඩ් සමඟ

විශේෂයෙන් දකුණු හා අග්නිදිග ආසියානු සමාජවල මුස්ලිම් කාන්තාවන්ට ඉහළ අධ්‍යාපනය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, මානසික සෞඛ්‍යය සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති තීරණ ගැනීම වැනි ක්ෂේත්‍රවල ඉහළම තනතුරු කරා පැමිණිය හැකි බව පෙන්වන ප්‍රබල උදාහරණයක් ලෙස ඇයගේ පත්වීම සැලකිය හැකි විය. ඒ අර්ථයෙන් ඇය එම තනතුරෙන් ඉවත්වීම කාන්තාවන්ගේ ජාත්‍යන්තර නායකත්ව නියෝජනය පිළිබඳ සංවාදයකට ද හේතුවක් විය හැකිය. එනිසා දකුණු හා අග්නිදිග ආසියානු කලාපවල විද්වත් වෘත්තික කාන්තාවෝ ඒ සම්බන්ධයෙන් සිය සංතීක්ෂණ අවධානය යොමු කරති.

එහෙත් මෙය මුස්ලිම් කාන්තාවන්ගේ පරාජයක් හෝ පසුබෑමක් ලෙස අර්ථ දැක්වීම නිවැරදි නොවේ. සයිමා වසේඩ්ගේ පෞද්ගලික හා වෘත්තීය තීරණයක් හෝ ඇයට එරෙහිව පවතින චෝදනා, මුස්ලිම් කාන්තාවන් සමස්තයක් ලෙස නියෝජනය නොකරයි. ඒ වෙනුවට, මෙය කාන්තාවන්ට, විශේෂයෙන් ආගමික හා සංස්කෘතික සීමාවන් මැද ඉහළට පැමිණෙන කාන්තාවන්ට, නායකත්වය සමඟ වගවීම, විනිවිදභාවය සහ ආයතනික සදාචාරය ද එකසේ වැදගත් වන බව පෙන්වන සිදුවීමක් ලෙස දැකිය හැකිය.

ඇගේ වෘත්තීය උරුමයේ වැදගත්ම කොටසක් වන ඔටිසම් සහ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇය කළ කාර්යය ද මේ සිදුවීම නිසා අමතක කළ නොහැක. ඒ සමඟම, ඇයට එල්ල වී ඇති චෝදනා ද නීත්‍යනුකූල විමර්ශන අවසන් වන තුරු චෝදනා ලෙසම සැලකිය යුතුය.

අවසානයේ සයිමා වසේඩ්ගේ කතාව, බංග්ලාදේශයේ ප්‍රබල දේශපාලන පවුලක සාමාජිකාවක වූ කාන්තාවක් ජාත්‍යන්තර සෞඛ්‍ය නායකත්වයේ ඉහළම තලයකට පැමිණීමත්, එතැනින් විමර්ශන සහ චෝදනා මැද ඉවත්වීමත් යන දෙපැත්තම එකවර පෙන්වන සංකීර්ණ පරිච්ඡේදයකි. ඇගේ ඉල්ලා අස්වීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියානු කලාපයට නව නායකත්වයක් තෝරා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ වන අතර, එම තනතුරට ඉදිරියේදී පත්වන පුද්ගලයා සම්බන්ධයෙන් වඩාත් දැඩි විනිවිදභාවයක් හා වගවීමක් අපේක්ෂා කෙරෙනු ඇත.

ෆාතිමා සුලෙයිමාන්

එතෙර - මෙතෙර