සාක්ෂි නැතිව පුද්ගලයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම භයානක පූර්වාදර්ශයක්

පුද්ගලයකුට එරෙහිව තවත් පුද්ගලයකු සිදුකරන ප්‍රකාශයක් පමණක් පදනම් කර ගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම භයානක පූර්වාදර්ශයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම අයුක්ති සහගත හා නීති විරෝධී ක්‍රියාවක් බවටද ගම්මන්පිල මහතා චෝදනා කළේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (05) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ලබාදුන් බව කියන කොමිස් මුදලකින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් නාමල් රාජපක්ෂ මහතා ලබාගත් බවට චෝදනා එල්ල වී ඇතැයි පැවසූ ගම්මන්පිල මහතා, එම මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බව තහවුරු කරන සෘජු සාක්ෂි විමර්ශකයන් සතුව නොමැති බව ප්‍රකාශ කළේය.ඔහු පැවසූ පරිදි, 2014 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳ ලෙස සඳහන් කරන ප්‍රියංකා විජේනායක මහත්මියට එයාර්බස් සමාගමෙන් ලැබුණු බව කියන කොමිස් මුදලකින් කොටසක් ඕස්ට්‍රේලියාවේ පදිංචි නිමල් පෙරේරා නමැත්තකුගේ ගිණුමකට මාරු කර තිබේ.එම මුදල පසුව නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට නිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇතැයි ගම්මන්පිල මහතා සඳහන් කළේය. එහෙත්, එම ප්‍රකාශය හැරුණු විට නිමල් පෙරේරා මහතා එම මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බව තහවුරු කරන වෙනත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවද ඔහු අවධාරණය කළේය.“ප්‍රියංකා විජේනායකට එයාර්බස් සමාගමෙන් කොමිස් මුදලක් ලැබුණු බවට සාක්ෂි තිබෙනවා. ඇය එයින් කොටසක් නිමල් පෙරේරාට ලබාදුන් බවටත් සාක්ෂි තිබෙනවා. නමුත් නිමල් පෙරේරා එම මුදල නාමල් රාජපක්ෂට ලබාදුන් බවට සාක්ෂි නැහැ” යනුවෙන් ගම්මන්පිල මහතා පැවසීය.ඒ අනුව එක් පුද්ගලයකුගේ ප්‍රකාශයක් පමණක් පදනම් කර ගනිමින් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රමවේදයක් ඇති වුවහොත් එය ඉතා බරපතළ පූර්වාදර්ශයක් වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.එවැනි ක්‍රමවේදයක් ඉදිරියේදී දේශපාලනඥයන්ට පමණක් නොව සමස්ත පුරවැසියන්ගේම මූලික ආරක්ෂාවට බලපාන තත්ත්වයක් බවට පත්විය හැකි බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.යම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පසුව ඔහු රජයේ සාක්ෂිකරුවකු බවට පත්කර, තවත් දේශපාලනඥයකුට මුදල් ලබාදුන් බවට ප්‍රකාශයක් ලබාගත හැකි නම්, එම ප්‍රකාශය මත පමණක් අදාළ දේශපාලනඥයාද අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් නිර්මාණය විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
පොදු දේපළ පනත යටතේ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවක සුවිශේෂී හේතු නොමැති නම් ඇප ලබාගැනීම සම්බන්ධයෙන් සීමා පවතින බවද ගම්මන්පිල මහතා පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස චෝදනා සම්බන්ධයෙන් අවසන් අධිකරණ තීන්දුවක් ලැබීමටත් පෙර පුද්ගලයකුට රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව විවේචනය කරමින් ගම්මන්පිල මහතා එය අතීතයේ දේශපාලන වේදිකාවල එල්ල වූ බව කියන “උගන්ඩාවේ ඩොලර් සඟවා ඇති බව”, “චිචී මහජන මුදලින් රොකට් යවා ඇති බව”, “එංගලන්තයෙන් රත්තරන් අශ්වයකු ගෙන්වා ඇති බව” සහ “ලැම්බෝගිනි රථ 19ක් වරායෙන් ගොඩබෑ බව” වැනි ප්‍රකාශවලට සමාන “පචයක්” ලෙසද හැඳින්වීය.එමෙන්ම, පුද්ගලයකුට ලැබුණු මුදලකින් කොටසක් වෙනත් පුද්ගලයකුට ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳවද ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.නිමල් පෙරේරා මහතාට තමන්ට ලැබුණු මුදලක් පන්සලකට, සුබසාධන සමිතියකට, ක්‍රීඩා සමිතියකට හෝ දේශපාලන පක්ෂයකට පරිත්‍යාග කිරීමට හැකියාවක් තිබිය හැකි බව සඳහන් කළ ඔහු, එවැනි මුදලක් භාරගැනීම පමණක් වරදක් බවට පත්වන්නේ නම් එය සාමාන්‍ය ජනතාවටද අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරන බව පැවසීය.ඉදිරියේදී මෙවැනි ක්‍රමවේද දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා භාවිත කළ හැකි බවටද ගම්මන්පිල මහතා අනතුරු ඇඟවීය.නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලනයට හෝ ඔහුගේ පෞද්ගලික දේශපාලන භූමිකාවට විරුද්ධ වුවද, සෑම පුද්ගලයකුටම නීතියේ සාධාරණ ආරක්ෂාව හිමිවිය යුතු බව පිළිගත යුතු බවද ඔහු අවධාරණය කළේය.මේ අතර, ලබන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලියකට ආරාධිත කථිකයකු ලෙස සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා තමන්ට ආරාධනා කර ඇති බවත්, එම ආරාධනය තමන් පිළිගත් බවත් ගම්මන්පිල මහතා අනාවරණය කළේය.එම රැලියට තමන් සහභාගි වන්නේ දේශපාලන පක්ෂ අතර ගැටුමක් ලෙස නොව, පුරවැසියන්ගේ ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්