කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කරමින් දෛනික මගී ප්‍රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාතේ නම් කර ඇති බස් ප්‍රමුඛතා මංතීරු හත සම්බන්ධ රථවාහන නීති හෙට (29) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කර ඇත්තේ මෙම බස් ප්‍රමුඛතා මංතීරු පෙරවරු 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක වන බවයි. එම කාලසීමාව තුළ බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුවල වෙනත් වාහන ධාවනය කිරීම හෝ වාහන නතර කර තැබීම තහනම් වේ. කෙසේ වෙතත්, හදිසි අවස්ථාවකදී, අනතුරක් වළක්වා ගැනීම සඳහා, දැඩි රථවාහන තදබදයක් මඟහැරීමේදී හෝ අවශ්‍ය ස්ථානයක හැරීමක් සිදුකිරීමේදී පමණක් එම මංතීරුවට ඇතුළුවීමට වෙනත් වාහනවලට අවසර හිමිවන බව පොලිසිය පවසයි. මෙම ප්‍රමුඛතා මංතීරු ‘මෙට්‍රෝ’ බස් රථ සඳහා පමණක් වෙන් නොවන අතර, අනෙකුත් මගී ප්‍රවාහන බස් රථවලටද ඒවා භාවිත කළ හැකි බව පොලිසිය පැහැදිලි කර තිබේ. නීති උල්ලංඝනය කරන රියැදුරන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂා කිරීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.