වර්තමානයේ අප රටේ ජන මාධ්‍ය මඟින් අපට අසන්නට ලැබෙන පුවත් අතරේ එක්තරා විශේෂිත පුවත් වර්ගයක් තිබේ.එනම් රාජ්‍ය නායකයන් ප්රමුඛ මුල් පෙළේ දේශපාලනඥයන් ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගෙන එම ස්ථාන වල භාරකාරත්වය දරන ආගමික ප්‍රධානීන් මුණ ගැසීම පිළිබඳ පුවත් ය.
කිසියම් රාජ්‍ය නායකයකු හෝ ප්රමුඛ දේශපාලනඥයකුගේ එවැනි ගමනකින් වුව ප්‍රවෘත්තියක් නිර්මාණය විය හැක.ඒ එම ගමනේ අරමුණ හෝ ඒ ගමන සම්බන්ධ වෙනයම් විශේෂ සිදුවීමක් මුල් කර ගනිමිනි.
එය රටේ දේශපාලන,සමාජ,ආර්ථික හෝ සංසිද්ධියක් නම් එම ප්‍රවෘත්තියේ ජාතික වැදගත් කමක් තිබේ.එසේ නොමැතිව එහි වෙනයම් සිද්ධිමය වැදගත් කමක් ඇත්නම් එහි ඕපාදූප ගණයේ වැදගත් කමක් හෝ තිබිය හැක.
එහෙත්,අප රටේ මාධ්‍ය වලින් නිතර දෙවේලේ ප්‍රචාරය වන ඉහත ආකෘතියේ ප්රවෘත්ති වල එවන් කිසිදු අගයක් වටිනා කමක් ඇති බවක් නොපෙනෙයි.ඒ ප්රවෘත්ති වල ඇත්තේ අසවල් රාජ්‍ය නායකයා හෝ දේශපාලනඥයා අසවල් සිද්ධස්ථානය වැඳ පුදාගෙන එහි භාරකාර ආගමික නායකයන්ගෙන් ආශීර්වාද ලබා ගත් බවකි.එමෙන්ම එම අවස්ථාවට එක් වී පිටතට පැමිණෙන එම දේශපාලනඥයාගෙන් රටේ පවත්නා සමකාලීන ප්‍රශ්න,ගැටළු අර්බුද ගැන විමසීමට ද ඔහු වටා රැස් වන මාධ්‍යවේදීහු පසුබට නොවෙති.
එවිට ඒ ප්‍රශ්න තමන් පැමිණි මෙම ගමන සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවක් නොපවසන ඔවුන් ඒවාට නොපැකිලවම පිළිතුරු දෙති.ඒ සමහර පිළිතුරු වල වෛරය ද්වේෂය වැනි ව්‍යාකූල හැඟීම් ද නොමඳවම ගැබ් ව ඇති බැවින් එම දේශපාලනඥයා එම ආගමික කටයුත්තේ දී කිසිදු ආධ්‍යාත්මික ආභාෂයක් ලබා නොමැති බවක් එම දසුන් දකින අපට මනාව ප්රත්යක්ෂ වෙයි. “අද උදේ දහයට අහවලා දළදා මාලිගාවට එනවා කියලා අපිට කොළඹින් දන්වලා තියනවා.ඒ හින්දා අනිවාර්යයෙන් එතනට යන්න වෙනවා”මහනුවර ප්‍රදේශයේ ජන මාධ්‍යවේදීන් අපට ද එසේ කියා තිබේ.
එහෙත්, එවිට”ඉතින්, ඒ මනුස්සයට තමන්ගේ ආගම අදහා ගන්න දීලා ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්නකෝ”යනුවෙන් මම ඔවුනට කියමි.”නෑ එයාලගේ මීඩියා යුනිට් එකෙන්ම තමයි අපේ චැනල් එකට ඔය ගමන දන්වලා තියෙන්නේ.
සමහර විට මොනවා හරි සීරියස් දෙයක් කිව්වොත් මට වෙන්නේ ඒ නිව්ස් එක කාගෙන් හරි හිඟා කන්න.අනික ඒක අපේ චැනල් එකේ නොගිහින් අනිත් ඒවයේ ගියොත් මං ඉවරයි”එවිට ඔව්හු එසේ කියති.ඒ අනුව අපට මැනැවින් පසක් වනුයේ මෙම දේශපාලනඥයන් මෙලෙස “දඹුලු යන්නේ තලගොයින් මරා ගැනීමට”ම බව ය.
මානව ඉතිහාසයේ ආදිතම යුගයක පූජකයන් ගේ විෂය පථයක් ව පැවැති දේශපාලනය ජනතාවට අතිශය විෂමකාරී බලපෑම් එල්ල කිරීමට සමත් විය.රාජ්‍යය යනු දේව නිර්මාණයක් බැවින් රාජ්‍යයේ පරම හිමිකාරිත්වය සර්ව බලධාරී දෙවියන් සතු විය යුතුය යන විශ්වාසයක් සමාජය පුරා පැතිරවීමට අතීත පූජක සමාජය සමත් විය.
මෙය හැඳින්වෙනුයේ දේව වරම් වාදය(Divine right theory)යනුවෙනි.ඒ අනුව රටේ පාලකයා ස්වකීය පාලන කටයුතු සම්බන්ධයෙන් දෙවියන් ගේ අදහස විමසා දැන ගත යුතු විය.එහෙත්,පාලකයාට නොමැති දෙවියන් සමඟ සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව තමන් සතු බව පූජක පැලැන්තිය පවසා සිටි බැවින් පූජකයා නිරතුරුවම පාලකයාගේ උපදේශකත්වයට පත් විය.ඒ අනුව පූජකයෝ දෙවියන්ගේ නම විකුණමින් එකී රාජ්‍යයේ පාලනමය කටයුතු අනියමින් තමන් වෙතට නතු කර ගත්හ.
යම් රටක, සමාජයක ලෞකික කටයුතු සඳහා පූජකයන් විසින් ඉදිරිපත් කරන ආගමික න්‍යායන් සහ චින්තනයන් පදනම් කරගත් මෙම සමාජ ව්‍යුහය හැඳින්වෙනුයේ පූජක වාදය(Clericalism)නමිනි.අතීතයේ ලොව බොහෝ රටවල කියාත්මක වූ මෙම පූජක වාදයට අප රටට ආසන්නතම නිදසුනක් ලෙස බුද්ධ කාලීන භාරතයේ පැවැති බ්‍රාහ්මණ ආදිපත්‍යය දැක්විය හැක.
රජතුමා දකින නරක සිහින වලට පවා අත්තනෝමතික අර්ථ කථන දුන් බුද්ධ කාලීන බ්‍රාහ්මණ සමාජය එමඟින් තම පංච කාම සම්පත් තහවුරු කර ගත් පුවත් බෞද්ධ සාහිත්‍යයේ කොතෙකුත් තිබේ.
බුද්ධ කාලීන සමාජයේ බ්‍රාහ්මණ ආධිපත්‍යය යටතේ මුලු මහත් සමාජයට සිදුවන අවැඩ පෙන්වා දුන් එවක රාජකීය පවුල් පසුබිම් අතහැර ලෞකිකත්වයෙන් දුරස් වූ සිද්ධාර්ථ ගෞතම,වර්ධමාන මහා වීර(නිගන්ඨ නාථ පුත්ත ) වැනි ආධ්‍යාත්මික නායකයන් එවක සමාජය තුළ වීතරාගී ශ්‍රමණ සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කරවීම තුළින් කාම භෝගී බමුණු පූජක සම්ප්‍රදායන්ට බරපතල ප්‍රතිරෝධයක් එල්ල කළහ.
එහෙත්,එම ශ්‍රමණ සම්ප්‍රදායට අයත් බෞද්ධ භික්ෂූන්ගේ කාර්ය භාරය ලක් ඉතිහාසයේ දී අතිශය විපරිනාමයට වූ අතර අතීත ඉන්දීය බ්‍රාහ්මණයන්ට මෙන් රාජ්‍ය පාලනයට පවා සෘජුව සහ වක්‍ර ව අත පෙවීමට ශ්‍රී ලාංකේය භික්ෂුවට සිදු විය.
අද වන විට කිසිදු බෞද්ධ දාර්ශනික පදනමක් නොමැති “සිංහල බෞද්ධ’ යන වාර්ගික පදනමේ සිට මෙරට දේශපාලනය හැසිරවීමේ සුවිශේෂ බලයක් වර්තමාන භික්ෂුව හිමි කරගෙන ඇත්තේ කිසිදු බෞද්ධ දාර්ශනික පදනමක් නොමැති හුදු දේශීය සංස්කෘතික පදනම මුල් කර ගනිමිනි.
ඊට බුදු දහම පිළි නොගෙන බුද්ධාගම අදහන අති බහුතරයක් වෙසෙන අප රටේ පොදු අනුමැතිය ද හිමි වී තිබේ. ලෝකයේ බොහෝ ජන සමාජ තුළින් ඉස්මතු වූ මෙම පූජක වාදයේ අනිසි බලපෑම මත විධිමත් සමාජ ආර්ථික දේශපාලන යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමේ අසීරුව වටහා ගත් යුරෝපීය සමාජ වලින් “රාජ්‍යය සහ පල්ලිය වෙන් කිරීමේ”( The separation of church and state ) ක්‍රියාන්විතය බලගැන්වුණු අතර එය කෙමෙන් ප්‍රවර්ධනය වූ සමාජමය බුද්ධි පරිනාමයේ තීරණාත්මක සංසිද්ධියක් ලෙස සමාජ මානව විද්‍යාඥයෝ හඳුන්වති.
සමාජයේ නොයෙක් තරාතිරම් වලට අයත් පිරිස් බෞද්ධ සිද්ධස්ථාන කරා ඇදෙති.ඒ අතර නොයෙක් ආකාර වලින් සමාජයේ ප්‍රසිද්ධියට පත් වූවෝ ද වෙති. නමුත් ඒ කිසිවකුගේ ආගමික සිද්ධස්ථාන වන්දනාවේ නොමැති ප්රවෘත්තිමය අගයක් දේශපාලනඥයන්ගේ වන්දනා ගමන් තුළට පිවිස ඇත්තේ කෙසේ ද? මෙය සියුම් ලෙස විමසා බැලිය යුත්තකි.
අප රටේ රාජ්‍ය නායකයන් ඇතුළු ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනකුගේ ආගමික භාවිතය මෙසේ වුව ද ආධ්‍යාත්මික භාවිතය ඊට ඉඳුරාම ප්රතිවිරුද්ධය.සමාජයීය දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රසිද්ධියේ බෞද්ධ පුදබිම් වලට ඇදෙන ඔවුන්ගෙන් බොහෝ දෙනා තම ලෞකික සැප සම්පත් අරමුණු කරගෙන සිදු කරන අනේක විධ චර්යාවන් වෙනම සාකච්ඡාවට ලක් විය යුතු විෂය පථයකි.
අතීත පාලකයන් ප්‍රසිද්ධියේ පූජක ආධිපත්‍යයට අනුගත වී සිටි ලෙසින් වර්තමාන දේශපාලකයෝ ගුප්ත ශාස්ත්‍ර වල නාමයෙන් මහා පරිමාන වංචා සිදු කරමින් ජන සමාජය කෙලෙසන සට කපට ගැහැනුන්ට සහ පිරිමින්ට මුලා වී සිටිති.එහි වඩාත් බියකරු තත්වය වනුයේ අප රටේ රාජ්‍ය නායකයන් ඇතුළු ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් එම කපටි කයිරාටිකයන්ගේ උපදෙස් මත සමස්ත ජාතියටම බලපාන දේශපාලනික තීන්දු තීරණ ගැනීමට පවා නොපසුබට වීම ය.
මෑතක සිට විකල්ප කතරගම පුද බිමක් ලෙස ප්‍රසිද්ධියට පත් යාල අභය භූමියට අයත් මහා වනය මැද පිහිටි කැබිලිත්තේ දේවාලය වත්මන් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනකුගේ ජනප්‍රියතම පුද බිමකි.නමුත් ඔහුන් මේ වන්දනා ගමන් වල යෙදෙන්නේ ජනතාවට හොර රහසේ ය.
ප්‍රධාන මාර්ග වල සිට කිලෝ මීටර් තිහ හතලිහක් මහ මහ වනය මැදින් ගමන් කළ යුතු මෙම චාරිකාව සඳහා යොදා ගත හැක්කේ රළු පරළු භාවිතය සඳහා නිපද වූ ජීප් රථ සහ ට්‍රැක්ටර් ආදිය පමණි.
එහෙත්,මේ වන විට අප රටේ ප්‍රබල දේශපාලනඥයන් රුපියල් කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී වාහන යොදා ගෙන මෙම මහා වන තරණය කරන බවත් ඒ එක් ගමනකින් පසු ඒවා බෙහෙවින් අබලන් වන බවත් එවන් රළු භාවිතයන් සඳහා නුසුදුසු ඒවා ඇතැම් විට මහ වනය මැද දී අබලන් ව වෙනත් වාහන වලින් වනයෙන් පිටතට ඇදගෙන ඒමට පවා සිදු වන බව ඒ කැබිලිත්ත වනයට පිවිසුම් මංකඩක පිහිටි කොටියාගල ගැමියන් අප ගේ සරසවි සිසුන් සමඟ පවසා තිබේ.
නමුදු ඔවුන්ගේ මෙවන් අවිචාරවත් ක්‍රියා සහ ඒවා නිසා නිස්කාරනේ වියදම් වන කෝටි ගණන් මහජන මුදල් සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමේ වගකීම අප රටේ රාජ්‍ය නායකයන් ඇතුළු ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ ප්‍රසිද්ධ වන්දනා ගමන් සඳහා අති ප්‍රාමාණික ප්‍රසිද්ධියක් දෙන අපේ ජන මාධ්‍ය කරුවන් ද ඛේදනීය ලෙස පැහැර හැර තිබේ
ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර