ආණ්ඩුවේ මර්දනය තුළින් දිස් වන නව සහන් එළියට නෙත් යොමමු

ඉන්ධන, ගෑස්, කිරි පිටි හා විදුලිය ඉල්ලමින් ජනතාව නිර්පාක්ෂික විරෝධතවයක් අද (03) පැවැත්වීමට සියළු සැලසුම් ක්‍රියාත්මක වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය.

මුලින්ම ඔහු හදිසි නීතිය පැනවූ අතර ඉන් නොනැවතී අප්‍රේල් මස 02 දින සවස 6.00 සිට අප්‍රේල් මස 04 දා අළුයම 6.00 වන තෙක් ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය ද පැනවීය.ඊට අමතරව මේ වන විට අන්තර් ජාල සමාජ මාධ්‍ය අවහිර කොට , සීමා කොට තිබේ..

එහෙත්, ජනතාව මහරගම, හෝමාගම හා යක්කල යන නගරවල දී ජනතාව විරෝධතා පැවැත්වූයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාල සීමාවේදීම ය. ඊයේ (02) සවස 6.00 න් පසු ඔවුහු ඇඳුරී නිතිය නොතකමින් විරෝධාතවයේ නිතරව සිටියහ

මෙහි දී කටකතා පැතිර යන්නට වූයේ ඇඳිරි නීතිය නොතකා 03 වන දින ජනතාව පෙර සැලසුම් කළ පරිදිම විරෝධතා පුවරු රැගෙන නගර මධ්‍යයට පැමිණෙන බවට ය.

පසුව ජනාධිපතිවරයා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහා මාර්ගවලට, දුම්රිය මාර්ගවලට, ක්‍රිඩාංගනවලට, මුහුදු වෙරළට හෝ කිසිදු පොදු ස්ථානයකට ජනතාවට ඒකාරාශී විය නොහැකි බවට ය.එමෙන්ම එම එක් රැස්වීම් පිළිබඳ තොරතුරු ජනතාව අතරේ සන්නිවේදනය වීම වළකනු පිණිස ඔහු සමජ ජාල ද අවහිර කොට තිබේ.

ඒ අනුව ජනතා විරෝධතාවලට,අභියෝග වලට බිය ජනාධිපතිවරයෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියට පත් වනු ඇත. අද (03) පැවැත්වීමට සැලසුම් කළ විරෝධතා සංවිධානය වූයේ නිර්පාක්ෂික කණ්ඩායම් මගිනි. ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලඥයෙකුට මේ විරෝධතා සඳහා සහභාගී නොවන ලෙස දැනුම් දී තිබුණි. අවුරුදු 35 ට අඩු තරුණ තරුණියන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙම විරෝධතාවය සංවිධානය කරමින් සිටියහ.

“ගෝඨා ගෝ හෝම්” යන්න මොවුන්ගේ ප්‍රධාන සටන් පාඨය විය. “ගෝඨා ගෝ හෝම්” යනුවෙන් සමාජ මාධ්‍ය පිටු ගණනාවක් ක්‍රියාත්මක වෙයි.මේ “ගෝ හෝම්” කතාව ලොව බොහෝ විරෝධතා කරුවන් අතර පවතින පාලකයන්ට එරෙහි පොදු ව්‍යවහාරයකි.එහෙත්, ඔවුන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කිරීම නිසා ආරක්ෂක අංශ මෙම ෆේස් බුක් පිටු ක්‍රියාත්මක කරන මෙහෙයුම් කරු නැතිනම් ඇඩ්මින් සොයමින් සිටියේය. ඔවුන්ට එම පුද්ගලයා සොයාගත හැකිවූයේ අප්‍රේල් 01 දාය.

ඔහු අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයෙකි. වහාම ක්‍රියාත්මක වූ කොළඹ උතුරු විශේෂ අපරාධ ඒකකයේ නිලධාරින් පිරිසක් සිවිල් ඇදුමින් සැරසී මෝදර පිහිටි ඔහුගේ නිවසට ගොස් මෙම තරුණයාව අත්අඩංගුවට ගත්හ. ඔහු මෝදර පොලීසිය රැගෙන යන බව කීවත් මෝදර පොලීසියට ගිය ඥාතීන්ට දැන ගන්නට ලැබුණේ ඔහු මෝදර පොලිසියට ගෙනවිත් නැති බවකි.

මෙම කතාව සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා පැතිර යන්නට විය. රට තුළින් හා විදේශයෙන් පැමිණි බලපෑම් හේතුවෙන් අවසානයේ මෙම තරුණයාව මෝදර පොලිසියට භාරදීමට අත්අඩංගුවට ගත් කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරුණයාව ඊයේ සවස අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

පසුගිය 31 දා මිරිහානේ පැවැති සාමකාමී උද්ඝෝෂණය ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූයේ බාහිර කණ්ඩායම් දෙකක් එයට සම්බන්ධ වීම නිසාය. කදුළු ගෑස් හා රබර් උණ්ඩවලින් විරෝධතාකරුවන්ට පහර දීමට පටන් ගත්තේ ඉන් පසුව ය. එයින් නොනැවතුණු පොලිස් විශේෂ කාර්ය බලකාය මාධ්‍ය ඇතුළු පැමිණි පිරිසට පන්න පන්නා පහරදීමට පටන් ගත්තේ ඉහළින් ලැබුණු අණ පරිදි ය.

විද්‍යුත් මාධ්‍ය වෙබ් අඩෙවි ඇතුළු මාධ්‍යවේදීන් 7 දෙනෙකු මෙම ප්‍රහාරවලින් තුවාල ලැබූහ. මේ අතර 54 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 21 දෙනෙකු පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේ පොදු දේපොල පනත යටතේ ය. අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටීමට ස්වේච්ඡාවෙන් නීතිඥයන් 400 ත් 500ත් අතර පිරිසක් සහභාගී වූ බව වාර්තා විය.

ගණන කෙසේ වෙතත් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය පීරි ඉතිරී යන්නට නීතිඥවරුන් පැමිණ සිටියහ. නීතිඥ සංගමයේ සභාපතිවරයා ද එහි පැමිණියේ පිරිසට සහාය වීමට ය. අවසානයේ ඇප ලැබුණු පිරිස පිටතට පැමිණෙද්දී නීතිඥවරු අත්පොලසන් දුන්හ. මෙයින් උද්ඝෝෂකයක්ට දැඩි පන්නරයක්, ජවයක් ඇතිවූයේ ඔවුන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීමට පිරිසක් සිටින බව දැන ගැනීම නිසා ය.

ඒ අනුව ලංකාව පුරාම 03 දා පෙරවරුවේ විරෝධතාවයේ නිරත වීමට තරුණ පිරිස් සුදානම් වෙද්දී ජනාධිපතිවරයා ඊට ඇඳිරි නීතිය හරස් කළේය. ජනතාවගේ පීඩාව තේරුම් නොගත් පාලකයා මර්දනය මුදා හරිමින් සිටියි. හදිසි නීතිය යනු වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බලය ලැබෙන නීතියකි.

සාමාන්‍යයෙන් හදිසි නීතිය පනවන්නේ කැරැල්ලක්, ආපදාවක් හෝ ව්‍යසනයක් ඇතිවූ අවස්ථාවකදී ය. එහෙත්, රට තුළ මේ කියන කිසිදු තත්ත්වයක් නොමැත. එහෙත් හදිසි නීතිය පනවා ඒ යටතේ ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබේ. එයිනුත් නොනැවතී තවත් නීති දැඩි කරමින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.ඒ මදිවාට සමාජ ජාල ද අවහිර කොට තිබේ. මෙයින් පෙනෙන්නේ පාලකයා ජනතාවගේ විරෝධය හමුවේ ආණ්ඩුව බියට පත්ව ඇති ආකාරය ය.

මෙවැනි මර්දනයන් කිරීමෙන් ජනතා නැගීටිම නැවැත්විය හැකියැයි සිතන්නේ නම් ඔහු මෝඩයකි. ජනතා ආවේග යටපත් කළ හැක්කේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමෙන් පමණකි. එසේ නොමැතිව ඇඳිරි නීතිය පැනවීමෙන්,සමාජ ජාල අවහිර කරමින් ජන බලය යටපත් කළ නොහැක.ඉන් සිදුවන්නේ ජනතා ආවේග වඩාත් ප්‍රබල හා විවිධාකාර ස්වරූපයෙන් ඉස්මතු වීමය.

මේ අතර විපක්ෂ දේශපාලන පක්ෂ බොහොමයක් මෙම තරුණ පිබිදීම දෙස බැලුවේ තමන්ට ආවේණික කෝඅණ වලිනි”අපේ නායකත්වයක් නැතුව ඔයාලා කොහොමද?එහෙම තනියම එළියට එන්නේ?ඒ හින්දා වැඩේ වණ කරගන්නේ නැතුව ගෙවල් වලට වෙලා ඉන්න. ජනතා අරගල කරන වැඩේ අපි කර ගන්නම්”ඔව්හු තරුණයන්ට නොකියා කීහ.එහෙත්,ඊට තරුණ පාර්ශව කියා සිටිනුයේ වර්තමාන සයිබර් අවකාශය මුල් කොට ජන අරගල සඳහා නව මුහුණු වරක් දීමට එම පැරැණි දේශපාලන අරගල කරුවන් නොදන්නා බවකි.එමෙන්ම ඔවුන්ගේ අසාර්ථක ජන අරගල ඉතිහාසය තමන් කියවා දැන හිඳින බවකි.

එම තරුණ පෙළ පවසන අන්දමට බාහිර අතුරු අන්තරා බලපෑම් වලින් තොරව නිර්පාක්ෂික නිරායුධ ජන අරගලයක් සිදුවන අන්දම පැරණි ජන අරගල කරුවන් නොදන්නවා ද විය හැක.එමෙන්ම මේ ජන අරගල තුළට පක්ෂ දේශපාලන විෂබීජ පිවිසුවීමට අරගල හයිජැක් කිරීමට හෝ ඊට හොර උප්පැන්න දීමට ඒන බලලෝභී දේශපාලනඥයන් ද මෙම සැබෑ ජන අරගල බිමෙන් අතුරුදන් කරවන බව ද ඊට එක් වන්නට සැරසී සිටින කොල්ලන් සහ කෙල්ලෝ කියා සිටිති.

එහෙත් ඒ සියළු තත්වයන් යටතේ ජනපති වරයා දියත් කොට ඇති මර්දනය තුළින් දිස්වන සහන් එළියක් ද තිබේ. ඒ වත්මන් දේශපලන බිමේ කෘත්‍රිම උත්තේජක මඟින් පණ ගන්වා සිටින අබල දුබල “සාටක පැටවුන්”පලවා හැර සැබෑ තරුණ ජවය,ශක්තිය, පන්නරය සහිත නව දේශපාලන සංස්කෘතියක් බිහි වීමේ යම් ඉඩ කඩක් වර්තමානය තුළින් මතු පෙනෙන බැවිනි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර