
එල් නිනෝ (El Niño) තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතීන් දැඩි අවදානමකට ලක්විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු හඟවා තිබේ. ඒ පසුපස ඇත්තේ වත්මන් දේශගුණික තත්ත්වය පිළිබඳව රටම අවදියෙන් සිටිය යුතු බවට වූ පණිවිඩයය. එල් නිනෝ සංසිද්ධිය නිසා ඇතිවන අසාමාන්‍ය නියඟය සහ ඉහළ උෂ්ණත්වය හේතුවෙන් මෙරට වනාන්තරවල ලැව් ගිනි හටගැනීමේ අවදානම පෙර නොවූ විරූ මට්ටමකට වර්ධනය වී ඇත. මෙය හුදෙක් පරිසරයට පමණක් නොව රටේ ආර්ථිකයට සහ ජන ජීවිතයට ද විශාල තර්ජනයක් බවට පත්ව තිබේ.

ලැව් ගිනි ඇතිවීම ස්වාභාවිකව හෝ මානව ක්‍රියාකාරකම් මගින් සිදුවිය හැකි සංකීර්ණ ක්‍රියාවලියකි. දැඩි නියඟය පවතින කාලවලදී වනාන්තරවල ඇති වියළි අතු, කොල සහ ශාක කොටස් අධික උෂ්ණත්වය නිසා ඉතා පහසුවෙන් ගිනි ඇවිළෙන සුළු තත්ත්වයක පවතී. ස්වාභාවික හේතු සැලකීමේදී අකුණු සැර වැදීම වනාන්තරවල ගින්නක් ඇතිවීමට ප්‍රධාන සාධකයක් වන අතර, විශේෂයෙන් වියළි කාලවලදී අකුණු සැර පතිත වීමෙන් ක්ෂණිකව විශාල භූමි ප්‍රදේශයක් ගින්නට හසු විය හැකිය. තවද, දැඩි සුළං සහිත අවස්ථාවලදී වියළි ගස් අතු එකිනෙක ඇතිල්ලීම නිසා ඇතිවන ඝර්ෂණයෙන් හටගන්නා කුඩා ගිනි පුපුරක් වුවද වියළි කොළ රොඩුවලට වැටී මහා ලැව් ගින්නක් නිර්මාණය වීමට ප්‍රමාණවත් වේ. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ වාර්තා වන ලැව් ගිනිවලින් බහුතරයක් ස්වාභාවික හේතූන් මත නොව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ඒවා බව පෙනී යයි.
මිනිසුන් විසින් හිතාමතා හෝ නොසැලකිලිමත් ලෙස වනාන්තර ගිනි තැබීමට විවිධ වූ හේතු බලපායි. ඇතැම් දඩයම්කරුවන් වනාන්තරවලට ගිනි තබන්නේ ගින්නෙන් බිය වී පලා එන සතුන් පහසුවෙන් දඩයම් කර ගැනීම සඳහාය. තවත් පිරිසක් පශු සම්පත් සඳහා වියළි කලාපීය පතන් බිම්වල අලුතින් තණකොළ ළා දලු ලා ඒම අපේක්ෂාවෙන් එම බිම් ගිනි තබති. මීට අමතරව නීතිවිරෝධී ලෙස ඉඩම් අත්පත් කර ගැනීම, හේන් වගාව ව්‍යාප්ත කිරීම සහ තාවකාලික වින්දනයක් හෝ විනෝදයක් සඳහා නොසැලකිලිමත් ලෙස වනාන්තර ආශ්‍රිතව ගිනි දැල්වීම වැනි ක්‍රියාකාරකම් එල් නිනෝ කාලසීමාවේදී වනාන්තර අළු කර දැමීමට ප්‍රබල ලෙස දායක වේ.
මෙම තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ ලෙස විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය සහ උස් බිම් කලාපයන් හඳුනාගත හැකිය. මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලින් මේ වන විටත් නිරන්තරයෙන් වනාන්තර ගිනි තැබීම් වාර්තා වෙමින් පවතී. එමෙන්ම, මඩකලපුව වැනි වියළි කලාපීය දිස්ත්‍රික්කයන්හි ද මෙම අවදානම බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.
ලෝක ඉතිහාසය දෙස බලන විට, එල් නිනෝ බලපෑම් නිසා ලැව් ගිනි හටගැනීම ගෝලීය වශයෙන් දරුණු ඛේදවාචකයන් නිර්මාණය කර ඇත. 2019-2020 කාලයේ ඕස්ට්‍රේලියාවේ ඇති වූ මහා ලැව් ගිනි සඳහා එල් නිනෝ නිසා ඇති වූ දැඩි නියඟය ප්‍රධාන හේතුවක් විය. ඒ හා සමානව බ්‍රසීලයේ ඇමසන් වනාන්තරවල ගිනි ගැනීම්වලදී ද එල් නිනෝ කාලසීමාවලදී උෂ්ණත්වය ඉහළ යාම සහ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් එම පද්ධතීන් දැඩි ලෙස විනාශයට පත් විය. ඉන්දුනීසියාවේ පීට්ලන්ඩ් වනාන්තරවල ගිනි ගැනීම්වලදී ද එල් නිනෝ බලපෑම නිසා ඇති වූ වියළි තත්ත්වය ගින්න පාලනය කළ නොහැකි මට්ටමකට ගෙන ගියේය. මෙවැනි ගෝලීය අත්දැකීම්වලින් අප උගත යුතු පාඩම නම්, ස්වාභාවික දේශගුණික විපර්යාසයන් මිනිසාගේ වැරදි ක්‍රියාකාරකම් සමඟ එකතු වූ විට එය පාලනය කළ නොහැකි මහා විනාශයකට දොර විවර කරන බවයි.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නවීන තාක්ෂණය භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. වනාන්තරවල ගිනි ගැනීම් සිදුවන ස්ථාන චන්ද්‍රිකා සහ ඩ්‍රෝන තාක්ෂණය මගින් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමෙන් ඉතා කෙටි කාලයකදී ගින්නක් හඳුනාගෙන එය පැතිරීමට පෙර පාලනය කිරීමට හැකියාව ලැබේ. මීට අමතරව, වනාන්තර මායිම්වල ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ දුම් හඳුනාගැනීමේ උපකරණ ස්ථාපිත කිරීමෙන් ගින්නක් ඇවිළෙන මුල් අවස්ථාවේදීම බලධාරීන්ට දැනුම් දිය හැකිය. ලැව් ගිනි පැතිරීම වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගිනි වැළැක්වීමේ බාධක (Fire breaks) ස්ථාපිත කිරීම වැනි තාක්ෂණික ක්‍රමවේද මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින අතර, අනාගතයේදී එවැනි යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම අවශ්‍ය වේ.

මෙවැනි හදිසි තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සතු පහසුකම් පිළිබඳ සළකා බැලීම වැදගත්ය. මේ වසරේ ජාතික අයවැය මගින් වනාන්තර ආරක්ෂාව සහ ගිනි වැළැක්වීමේ පියවර සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීම වැදගත් පියවරකි. කෙසේ වුවද, ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් ගිනි නිවීමේ කටයුතු සිදු වුවද, අප සතු නවීන තාක්ෂණික ගිනි නිවන උපකරණ සහ විශේෂිත පුහුණුව ලත් කණ්ඩායම් ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවකි. පුරවැසියන් වශයෙන් අපට කළ හැකි සරලම නමුත් වැදගත්ම දේ නම්, සැක කටයුතු ගිනි තැබීම් හෝ ලැව් ගිනි පිළිබඳව වහාම 1995 යන ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දී බලධාරීන්ගේ මැදිහත් වීම ලබා ගැනීමයි.

එල් නිනෝ වැනි අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ වනාන්තර ආරක්ෂා කර ගැනීම යනු හුදෙක් පරිසර සංරක්ෂණය පමණක් නොව, එය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවකි. වනාන්තර අහිමි වීමෙන් සිදුවන ජල උල්පත් සිඳී යාම, පස සේදී යාම සහ කෘෂිකාර්මික බිඳවැටීම් රටක ආර්ථික කොඳු නාරටිය බිඳ දමයි. ලැව් ගිනි මගින් වායුගෝලයට මුදා හරින කාබන් සහ අළු දූවිලි ස්වසන ආබාධ ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට මග පාදයි. එබැවින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා රාජ්‍ය ආයතන, සිවිල් සංවිධාන සහ සාමාන්‍ය ජනතාව යන සියලු පාර්ශවයන්ගේ එකමුතුභාවය අත්‍යවශ්‍ය වේ. වනාන්තර ගිනි තැබීම වැනි සාපරාධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කළ යුතුය.

වනාන්තර යනු අපේ අනාගත පරපුරේ ජල සහ වායු සුරක්ෂිතතාවයයි. එබැවින් එල් නිනෝ වැනි දේශගුණික අවදානමක් පවතින විට, පවතින සියලුම තාක්ෂණික සහ මානව සම්පත් උපයෝගී කරගනිමින් අපේ වටිනා වන සම්පත රැක ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගත යුතුය. සොබා දහම විසින් ලබා දී ඇති මේ වටිනා උරුමය විනාශ වීමට ඉඩ නොදී, එය රැක ගැනීම සියලු දෙනාගේම වගකීමක් බව අප අවබෝධ කරගත යුතුය. මෙම උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනාම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු කාලය එළඹ තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක