හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි මරණය කිසිසේත්ම සිය දිවි නසා ගැනීමක් විය නොහැකි බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.එමෙන්ම සියදිවි නසා ගැනීමට තරම් වන කිසිදු හේතුවක් ඔහුට නොතිබූ බව ඔහුගේ සමීපතමයන් සහ මිතුරන් ද අවධාරණය කර ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සන්ඩේ අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට අනුව, මෙය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය වික්‍රමරත්න මහතාගේ අතේ තිබියදී අහම්බෙන් ක්‍රියාත්මක වීමෙන් සිදුවූ අනතුරක් විය හැකි බවට සැක කෙරේ.එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිද්ධිය සිදුවන අවස්ථාවේදී වික්‍රමරත්න මහතා සුපුරුදු පරිදි සිය බිරිඳ සමඟ උදෑසන ඇවිදීමට යාම සඳහා සූදානම් වී නිවසේ ආලින්දයේ රැඳී සිටි බවයි. එදින පෙරවරුවේ ද ඉතා සැහැල්ලුවෙන් සිටි ඔහු සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය ගෙන පරීක්ෂා කරන අතරතුර මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.ඒ මොහොතේ ඔහු සිය ආරක්ෂක නිලධාරියාට වතුර බෝතලයක් රැගෙන එන ලෙස දන්වා ඇති අතර එම නිලධාරියා වතුර බෝතලය ගැනීමට ගිය අවස්ථාවේදී වෙඩි තැබීම සිදුවී ඇති බව කියැවේ. ගිනි අවිය අතපසුවීමකින් ක්‍රියාත්මක වූවාද නැතහොත් ඔහු විසින්ම වෙඩි තබාගත්තාද යන්න තවමත් අපැහැදිලි අතර, සියදිවි නසාගැනීම්වලදී බහුලව හිසට හෝ ගෙලට වෙඩි තබාගත්තද, මෙම සිදුවීමේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔහු ගේ පපුවේ ප්රදේශයටවීම ද මෙම සැකයට හේතු වී තිබේ.ඒ අතරේ වික්‍රමරත්න මහතා ඉන් පෙර ලියා ඇති ලිපි සටහන් ආදී කිසිවක් ද හමු වී නැත.වෙඩි හඬ ඇසී නිවස තුළ සිටි ඔහුගේ බිරිඳ පැමිණ බලන විට වික්‍රමරත්න මහතා ආලින්දයේ වැටී සිටින අයුරු දැකගැනීමට හැකිවී තිබේ.හිටපු පොලිස්පතිවරයා මරණයට දින කිහිපයකට පෙර ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවකට සහ මිතුරන් සමඟ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී ඇති අතර එහිදී ද ඔහු ඉතා සතුටින් කාලය ගත කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.මේ අතර වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට විවෘත තීන්දුවක් ප්‍රකාශ වී ඇති අතර, ඒ පිළිබඳ විශේෂඥ මත විමසා බැලීමෙන් පසුව අවසන් නිගමනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.