
ලෝකයේ දැඩිම ඩිජිටල් ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිවලින් එකක් බලාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වෙයි. එනම්, 2025 දෙසැම්බර් 10 වැනිදා සිට, ෆේස්බුක්, ටික්ටොක්, ස්නැප්චැට්, රෙඩිට්, එක්ස් ආදී වශයෙන් වූ ප්‍රධාන සමාජ මාධ්‍යවල අවුරුදු 16ට අඩු ළමයින් ගිණුම් පවත්වාගෙන යාම වැළැක්වීමට එකී සමාගම්වලට අදාළ ප්‍රතිපාදන යොදන්නට සිදුවෙයි. මේ හේතුවෙන් දැනට එකී මාධ්‍යවල ක්‍රියාකාරීව පවතින අවුරුදු 16 ට අඩු දරුවන්ගේ ගිණුම් අත්හිටුවන්නට එකී සමාගම් කටයුතු කරනු ඇත. දැනට දැනගන්නට ලැබී ඇති පරිදි මේ ගිණුම් අවලංගු කිරීමක් හෝ මකා දැමීමක් සිදු වන්නේ නැත. ඒවා එම දරුවන් වයස අවුරුදු 16 පසුවන තෙක් තාවකාලිකව අක්‍රීය කිරීමක් පමණක් සිදු වන බව දැනගන්නට ලැබී තිබේ. මේ ක්‍රියා මාර්ගය ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ඉන් පරිබාහිරව ද දැඩි සංවාදයකට බඳුන් වන්නට පටන් ගෙන තිබේ. ඒ ස්මාර්ට් දුරකතන, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යවල බලපෑම හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන්නට පටන් ගෙන ඇති සමාජ හා මානසික ප්‍රතිවිපාකවලට එරෙහිව ලෝකයේ බොහෝ රටවල් දැඩි අරගලයක යෙදෙමින් පවතින පසුබිමක් තුළය.
ඕස්ට්‍රේලියානු රජය මේ පියවර හඳුන්වා ඇත්තේ මහජන සෞඛ්‍ය මැදිහත්වීමක් ලෙසිනි. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන්නේ සරල තර්කයකි. එනම්, දරුවන් ඇතුළු සියලු දෙනා ජීවත් වන ඩිජිටල් ලෝකය ගොඩනැගී ඇත්තේ ආරක්ෂාවට නොව ව්‍යාපාරික අරමුණු උදෙසාය. මේ ව්‍යාපාරික අරමුණු මත ක්‍රියාත්මක සමාජ ජාලවල සංසරණය වන රූප, වීඩියෝ ඇතුළු සියලු අන්තර්ගතයන් ළමා වියේ පසුවන්නන්ගේ මනසට නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා හානිකර තත්ත්වයක් උදාවෙයි. රජයේ ස්ථාවරය වී ඇත්තේ දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම දෙමාපියන්ට හෝ පාසල්වලට පමණක් පැවරිය නොහැක්කක් බවය. ඒ සඳහා සමාජ මාධ්‍යවලට ප්‍රවේශ වීම සඳහා පවතින නීතිවල ද වෙනසක් කළ යුතුය.
මෙය ක්‍රියාත්මක වන්නේ යැයි පැවසෙන්නේ ‘මාර්ගගත ආරක්ෂණ සංශෝධන (සමාජ මාධ්‍ය අවම වයස්) පනත, 2024’ (Online Safety Amendment (Social Media Minimum Age) Act 2024) හි ප්‍රතිපාදන අනුවය. ඕස්ට්‍රේලියාව තුළ දරුවන් ඩිජිටල් අවකාශය භාවිතය සම්බන්ධ නියාමනයන් ක්‍රියාත්මක කිරීමේ සන්ධිස්ථානයක් ලෙස මෙය සඳහන් කළ හැකිය. මෙහිදී වයස අවුරුදු 16 ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම වරදක් යැයි සලකා දඬුවම් දීමේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමේ පනතක් නොවන බව සැලකිය යුතුය. නමුත් මේ පනතේ සඳහන් ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්නට අපොහොසත් වන සමාජ මාධ්‍ය ජාලවලට දඩ මුදල් ගෙවීමට සිදු වේ. ඕස්ට්‍රේලියානු රජය මෙය ක්ෂණිකව ගත් තීරණයක් නොවේ. යොවුන් මානසික සෞඛ්‍යය, සයිබර් හිරිහැර, ලිංගික සූරාකෑම සහ සමාජ මාධ්‍ය කෙරෙහි ඇති වන ඇබ්බැහිය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ විවිධ පාර්ශ්ව පෙන්වා දුන් කාරණාවල ප්‍රතිඵලයක් ලෙස ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් ලෙස මේ පිළිබඳ සඳහන් කළ හැකිය හැකිය.
ඕස්ට්‍රේලියානු රජය මේ පියවර හඳුන්වා ඇත්තේ මහජන සෞඛ්‍ය මැදිහත්වීමක් ලෙසිනි. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන්නේ සරල තර්කයකි. එනම්, දරුවන් ඇතුළු සියලු දෙනා ජීවත් වන ඩිජිටල් ලෝකය ගොඩනැගී ඇත්තේ ආරක්ෂාවට නොව ව්‍යාපාරික අරමුණු උදෙසාය. මේ ව්‍යාපාරික අරමුණු මත ක්‍රියාත්මක සමාජ ජාලවල සංසරණය වන රූප, වීඩියෝ ඇතුළු සියලු අන්තර්ගතයන් ළමා වියේ පසුවන්නන්ගේ මනසට නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා හානිකර තත්ත්වයක් උදාවෙයි. රජයේ ස්ථාවරය වී ඇත්තේ දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම දෙමාපියන්ට හෝ පාසල්වලට පමණක් පැවරිය නොහැක්කක් බවය. ඒ සඳහා සමාජ මාධ්‍යවලට ප්‍රවේශ වීම සඳහා පවතින නීතිවල ද වෙනසක් කළ යුතුය.

සමාජ මාධ්‍යවලට නිරන්තරයෙන් නිරාවරණය වීම දරුවන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇති කරන බලපෑම සුළුපටු නොවේ. ඕස්ට්‍රේලියානු බලධාරීන් නිතරම පෙන්වා දෙන කාරණයක් වන්නේ දැඩි ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන් අතර කාංසාව, මානසික අවපීඩනය සහ දුර්වල ආත්ම අභිමානය පැහැදිලිවම දකින්නට ලැබෙන බවය. සමාජ මාධ්‍ය භාවිත කරන්නාගේ දරා ගැනීමේ ශක්තිය මත එයින් ඇති වන බලපෑම සමාජය මත හිතකර හෝ අහිතකර ලෙස බලපෑ හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය විශේෂඥයෝ පවසන්නේ මේ වයස්වල පසු වන දරුවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මේ සමාජ මාධ්‍ය නිසා පරිහානියකට ලක්ව ඇති බැවින් ඔවුන්ගෙන් සමාජය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවය.
කෙසේ වෙතත් මේ තහනම නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දී මතු වන ගැටලු කිහිපයක් ද පෙන්වා දී තිබේ. එකක් වන්නේ දරුවන්ගේ වයස සනාථ කර ගැනීමේ ගැටලුවයි. මේ වයස්වල දරුවන් බොහෝ දෙනෙකුට විධිමත් හැඳුනුම් පතක් නොමැත. දරුවන් වෙනත් උපක්‍රම භාවිතයෙන් සමාජ ජාලවලට පිවිසීමේ හැකියාවක් පවතී. අනෙක් අතට මේ තහනම නිසා සමාජ මාධ්‍යවලින් ඈත් වන දරුවා ඉන් පසු අන්තර්ජාලයේ පවතින වෙනත් විනාශකාරී වෙබ් අඩවි කරා යොමු වීමේ හැකියාවක් තිබෙන බව ද පෙනී ගොස් ඇති තවත් ගැටලුවකි.
ඕස්ට්‍රේලියාව ගනු ලැබූ මේ පියවර ලෝකයේ වෙනත් රටවල් කෙරෙහි ද බලපෑමක් එල්ල කර ඇති බව පෙනෙන්නට තිබේ. නවසීලන්තය ද කුඩා දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මේ හා සමානම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් පසුවන බව දැනගන්නට ලැබී තිබේ. යුරෝපයේ රටවල් කිහිපයක් දෙමාපියන්ගේ මැදිහත්වීම මත දරුවන්ගේ වයස සනාථ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධව අදහස් දක්වා තිබේ. කෙසේ නමුත් බොහෝ රටවල් මෙවැනි දැඩි පියවරකට එළඹීමට පැකිළීමක් දක්වන අතර, එයට හේතුව ඒ රටවල් පවතින ළමා ආරක්ෂාව, පුද්ගලික අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි කාරණා අතර සමබරතාවක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ තවමත් පැහැදිලි ස්ථාවරයක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති නිසාය.

ශ්‍රී ලංකාව තුළ ද සමාජ මාධ්‍ය සහ දරුවන් සම්බන්ධයෙන් බොහෝ කාලයක සිට සංවාදයක් පවතින බැවින් ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රවේශය ඉතා වැදගත් මාර්ගෝපදේශයක් සපයයි. අප රටේ මාර්ගගත ක්‍රමවේදයන් නියාමනය කිරීම සඳහා 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ඉදිරිපත් කොට තිබේ. නමුත් මෙය ඕස්ට්‍රේලියානු ප්‍රවේශය තරම් තියුණු නොවේ. මේ පනත මගින් ඩිජිටල් ක්‍රියාකාරීත්වය නිසා සිදුවන හානි නියාමනය කළ ද, දරුවන් අන්තර්ජාලය භාවිත කිරීම හෝ සමාජ මාධ්‍ය ගිණුම් විවෘත කිරීම සීමා කරන කිසිදු විධිවිධානයක් එහි අඩංගු වන්නේ නැත.
ඒ වෙනුවට එයින් සිදු වන්නේ දරුවන් අපයෝජනය කිරීම සම්බන්ධ රූප හෝ වීඩියෝ, සූරාකෑම් සහ ව්‍යාජ පුද්ගල ගිණුම් නියාමනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමය. එබැවින් ශ්‍රී ලංකාවේ පනත අවධානය යොමු කරන්නේ අන්තර්ජාලයට පිවිසීමට අවසර ඇත්තේ කාටද යන්නට වඩා අන්තර්ජාලයේ සංසරණය වන දේවල් පිළිබඳවය. එබැවින් වයස මත පදනම්ව සමාජ මාධ්‍යවලට පිවිසීම නියාමනය කරන්නට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එහි අඩංගු නොමැත. එයින් බලාපොරොත්තු වන්නේ වැරදි තොරතුරු, හිරිහැර කිරීම් සහ අපචාරී හැසිරීම් සමීපව නියාමනය කරමින් පාලනය කිරීමය. ඇතැමුන් තර්ක කරන්නේ මේ පනත මගින් ශ්‍රී ලංකාවේ යොවුන් සහ තරුණ පරිශීලකයින් මුහුණ දෙන මානසික සංවර්ධන අවදානම් තත්ත්වය ප්‍රමාණවත් පරිදි ආමන්ත්‍රණය කර නොමැති බවය. එමෙන්ම වයස සනාථ කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම මගින් සංකීර්ණ පෞද්ගලිකත්ව ගැටලු මතුවීම සහ නීතිය බලාත්මක කිරීමේ අභියෝග මතු විය හැකි බවය.
ඕස්ට්‍රේලියාව ගනු ලැබූ පියවර ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කිරීම කෙරෙහි බලධාරීන් අවධානය කරනු ඇතිද යන්න පිළිබඳ අදහස් මෙහිදී ඉදිරිපත් කළ නොහැකිය. එවැන්නක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඊට අවශ්‍ය තවත් බොහෝ යටිතල පහසුකම් ඇති කළ යුතුව තිබේ.
ඕස්ට්‍රේලියාවේ මේ ඩිජිටල් ප්‍රතිපත්තිය සමග ගෝලීය වශයෙන් සෙසු රටවල් එකඟතාවක් දක්වාවිද යන්න තවමත් සඳහන් කළ නොහැකිය. නමුත් එය ලෝකයට යම් පණිවිඩයක් ලබා දෙයි. ළමා කාලය යන්න වෙනස් වී ඇති බවත්, එම පරිවර්තනය දෙස උදාසීනව බලා සිටීමට කිසිදු රජයකට තවදුරටත් හැකියාවක් නොමැත. පැහැදිලි කර ගත යුතු කාරණාව වන්නේ, ඕස්ට්‍රේලියාව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මේ ඩිජිටල් ප්‍රතිපත්තිය සෙසු රටවල් ද ඒ ආකාරයෙන්ම පිටපත් කරගෙන ක්‍රියාත්මක කරනු ඇති ද යන්න නොව, ඔවුන් තම දරුවන් වෙනුවෙන් කුමනාකාර ඩිජිටල් අනාගතයක් ගොඩ නගනු ඇති ද සහ එය සුරක්ෂිත කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇති කරමින් කෙතරම් දුරක් ගමන් කරන්නට කැමති ද යන්නය.

එසේ වුවත් ඕස්ට්‍රේලියාවේ අත්හදා බැලීම ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ සෙසු රටවලට ද වටිනා පාඩම් සපයයි. ඉන් එකක් වන්නේ මෙහි අරමුණයි. මෙහි අරමුණ වන්නේ හිරිහැර කිරීම, ලිංගික සූරාකෑම සහ නුසුදුසු අන්තර්ගතයන්ට නිරාවරණය වීම වැනි නිශ්චිත හානි අවම කිරීම ද, නැතහොත් දරුවන් වර්ධනය වන ඩිජිටල් පරිසරය ප්‍රතිනිර්මාණය කිරීම ද යන්න පැහැදිලි නැත. අනෙක, ඕස්ට්‍රේලියාව ගතහොත් එහි අධ්‍යාපන කටයුතු බොහොමයක් ඩිජිටල් ප්‍රවේශයන් සමග බැඳී තිබේ. එවැනි තත්ත්වයක් තුළ මේ සීමා කිරීම කෙතරම් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිවේ ද යන්නය. දරුවන්ගේ ඩිජිටල් ජීවිත සම්බන්ධයෙන් කරනු ලබන බලපෑම් කාලයත් සමග නිරීක්ෂණය කර ඇගයීමකට ලක් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පැන නගියි.
ඕස්ට්‍රේලියාවේ මේ ඩිජිටල් ප්‍රතිපත්තිය සමග ගෝලීය වශයෙන් සෙසු රටවල් එකඟතාවක් දක්වාවිද යන්න තවමත් සඳහන් කළ නොහැකිය. නමුත් එය ලෝකයට යම් පණිවිඩයක් ලබා දෙයි. ළමා කාලය යන්න වෙනස් වී ඇති බවත්, එම පරිවර්තනය දෙස උදාසීනව බලා සිටීමට කිසිදු රජයකට තවදුරටත් හැකියාවක් නොමැත. පැහැදිලි කර ගත යුතු කාරණාව වන්නේ, ඕස්ට්‍රේලියාව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මේ ඩිජිටල් ප්‍රතිපත්තිය සෙසු රටවල් ද ඒ ආකාරයෙන්ම පිටපත් කරගෙන ක්‍රියාත්මක කරනු ඇති ද යන්න නොව, ඔවුන් තම දරුවන් වෙනුවෙන් කුමනාකාර ඩිජිටල් අනාගතයක් ගොඩ නගනු ඇති ද සහ එය සුරක්ෂිත කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇති කරමින් කෙතරම් දුරක් ගමන් කරන්නට කැමති ද යන්නය.
නිරංජන් චාමින්ද කරුණාතිලක