
වෙසක් පොහොය උදාවත් සමඟ පන්සල් බිමට වඩා දන්සල් පෝලිම දිගු වන බව අද වන විට විනෝදාත්මක ජන වහරක් නොව සමාජ යථාර්ථයක් බවට පත්ව තිබේ. නිශ්චිත සංඛ්‍යාලේඛන නැතත්, රට පුරා ඉදිවෙන දහස් ගණන් දන්සල් සහ ඒ වටා රොක්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ ප්රවණතාවේ ප්‍රබල සාක්ෂියකි. මෙය හුදු ආගමික චාරිත්‍රයකින් සංස්කෘතික උත්සවයකට මාරුවීමක් පමණක් නොව, ලාංකීය හදවතේ තවමත් දැල්වෙන පරෝපකාරයේ ප්රකාශනයකි. චැරිටීස් ඒඩ් ෆවුන්ඩේෂන් (CAF – Charities Aid Foundation) 2023 වාර්තාවට අනුව ‘අන් අයට උපකාර කිරීම’ අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම රටවල් 10 අතර සිටීමෙන් එයට ජාත්‍යන්තර පිළිගැනීමක් ද ලැබී තිබීම ජාතියක් ලෙස අපට අතිශය සතුටු විය හැකි කරුණකි.
ථෙරවාදී බුදුදහමේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල පළමු පියවර දානය වන අතර එය විහාර මළුවට සීමා වූ පුණ්‍ය කර්මයක් නොවේ. එය දේශීය ගැමි ජන විඥානය පත්ලෙහිම නිදන් වූවකි. “කෑ දේ ගඳයි – දුන් දේ සුවඳයි” යන සරල ජන වහර ගැමියාගේ අවම තෘෂ්ණාවෙන් සහ උපරිම තෘප්තියෙන් යුතු සමාජ ආර්ථික දර්ශනය මූර්තිමත් කරයි. ඒ අනුව දානය පවුල, ගම සහ රට යා කරන නොපෙනෙන හුය පටක් බවට පත්ව ඇත. අනුරාධපුර රාජධානි සමයේ මහාපාලි දන්සලේ සිට මහනුවර යුගයේ ප්‍රභූ පැලැන්තිය අතරේ පැවැති ඇතුල් කට්ටලේ දානය දක්වාත්, වර්තමානයේ මහමඟ ඉදිවන බත්, නූඩ්ල්ස්, මඤ්ඤොක්කා හෝ අයිස්ක්‍රීම් දන්සල දක්වාත් ගලා එන්නේ එකම සංස්කෘතික ධාරාවකි. තම නිවහන වෙත පැමිණෙන පිටස්තරයන්ගෙන් පවා නැගෙන “බත් කාලද ඉන්නේ?” යන සුහද ආමන්ත්‍රණය සංඛ්‍යාලේඛනවලට හසු නොවන අපේ සත්කාරයේ විශ්ව භාෂාවයි.

පුරාණ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ නීත්‍යානුකූලභාවය තීරණය වූයේ රජුගේ ධර්මානුකූලභාවය මත ය. බෞද්ධ දස සක්විති වත් හා දස රාජ ධර්මයන්හි ප්රමුඛ අංගයක් වූ දානය ඔස්සේ තම රාජ්‍ය සම්පත් මහා සංඝරත්නයටත්, මහජනතාවටත් පූජා කරමින් පාලන අයිතිය සදාචාරාත්මකව තහවුරු කිරීම රජුගේ කාර්යභාරය විය. ලෝක ප්‍රකට සමාජ මානව විද්‍යාඥ එස්. ජේ. තම්බයියා “පින්කම් පිළිබඳ සදාචාරාත්මක ආර්ථිකය” ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලියේදී, ද්‍රව්‍යමය සම්පත් සහ ආධ්‍යාත්මික වටිනාකම් අතර ශුද්ධ හුවමාරුවක් සිදු වූ බවට කරන විග්‍රහය අතිවිශිෂ්ට ය.

පුරාණ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ නීත්‍යානුකූලභාවය තීරණය වූයේ රජුගේ ධර්මානුකූලභාවය මත ය. බෞද්ධ දස සක්විති වත් හා දස රාජ ධර්මයන්හි ප්රමුඛ අංගයක් වූ දානය ඔස්සේ තම රාජ්‍ය සම්පත් මහා සංඝරත්නයටත්, මහජනතාවටත් පූජා කරමින් පාලන අයිතිය සදාචාරාත්මකව තහවුරු කිරීම රජුගේ කාර්යභාරය විය. ලෝක ප්‍රකට සමාජ මානව විද්‍යාඥ එස්. ජේ. තම්බයියා “පින්කම් පිළිබඳ සදාචාරාත්මක ආර්ථිකය” ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලියේදී, ද්‍රව්‍යමය සම්පත් සහ ආධ්‍යාත්මික වටිනාකම් අතර ශුද්ධ හුවමාරුවක් සිදු වූ බවට කරන විග්‍රහය අතිවිශිෂ්ට ය.
දෙවනපෑතිස් රජුගේ මහමෙව්නා උයන් පූජාවේ සිට දුටුගැමුණු රජුගේ සොළොස් මහා දානය, මහසෙන් රජුගේ ජේතවනාරාම පූජාව, පළමුවන පරාක්‍රමබාහු රජුගේ “වැවිළා දාන ශාලාව” සහ “සංඝයා කුසගින්නේ තබා මම ආහාර නොගනිමි” යන ප්‍රතිපත්තිය දක්වාත්, දළදා මාලිගාව කේන්ද්‍ර කරගත් උඩරට රාජකීය දාන දක්වාත් මෙම සම්ප්රදාය නොකඩවා ගලා ආ බව ඒකාන්ත සත්‍යයකි. “අස්සටා දාන”, “මහා දාන” මෙන්ම අනාථ, රෝගී සහ යාචකයන් සඳහා පැවති දානශාලා නූතන සමාජ ආරක්ෂණ ක්රමයක පුරෝගාමී ස්වරූපයක් ලෙස සැලකිය හැකිය.
විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට රාජකීය දාන ක්‍රියාවලිය පිටුපස අරමුණු ත්‍රිත්වයක් විය. යුද්ධයෙන් හෝ අරගලයෙන් බලය ගත් රජවරුන් පවා තම රාජ්‍ය පාලනය සදාචාරාත්මකව තහවුරු කර ගැනීම පිණිස දානය උපයෝගී කර ගැනීම, රජු පියකු මෙන් සමස්ත ප්‍රජාවගේම පෝෂකයා ලෙස පෙනී සිටීම, දානය මුල් කොට පාලක පාලිත සුසංවාදය ගොඩනැඟීම පිළිබඳව දස සක්විති වත් නම් බෞද්ධ රාජ්‍ය සංකල්පයෙන් විශිෂ්ට පණිවිඩයක් ලබා දීම ඒ සඳහා පාදක වූ බව පෙනේ.
අප රටේ රාජාණ්ඩු යුගය නිමා වීමත් සමඟ අතීත රජුගේ කාර්යභාරය දේශපාලනඥයන්, සමාජ සේවා සංවිධාන, ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය පුරවැසියන් විසින් උරුම කරගෙන ඇත. එහෙත් එය මෙහෙයවන “පුණ්‍ය කර්මය, සමාජ-පිළිගැනීම සහ දේශපාලන-ආර්ථික වාසි” යන ත්‍රිත්ව අරමුණු එදා මෙන්ම අද ද වලංගු ය. එබැවින් නූතන දන්සල යනු පුරාණ රාජධර්මයේ ‘දානය’ යන අංගයේ හුදු පරිණාමයක් පමණක් නොව, සංස්කෘතික අඛණ්ඩතාවය රැකගත් නවීන ප්රකාශනයකි. විසිවන සියවසෙන් පසු දන්සල විහාර භූමියෙන් මිදී මහපාරට පැමිණීමත් සමඟ එය ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් විය. වෛද්‍ය සායන, කොණ්ඩා කැපීම්, පොත් දන්සල් දක්වා විහිදුණු මෙම සංසිද්ධිය ප්‍රංශ සමාජ විද්‍යාඥ පියරේ බුර්ඩියෝගේ ‘සංස්කෘතික ප්රාග්ධනය’ (Cultural Capital), ප්‍රංශ සමාජ මානව විද්‍යාඥ මාසෙල් මෝස්ගේ ‘නිරපේක්ෂ දානය’ (Absolute Gift) සහ බ්‍රිතාන්‍ය ජාතික මානව විද්‍යාඥ වික්ටර් ටර්නර්ගේ ‘කොමියුනිටාස්’ (Communitas) යන සංකල්ප තුළින් විග්රහ කළ හැකිය.
දන්සල් පෝලිමේදී කුලය, පන්තිය, පක්ෂය දියවී ගොස් ඉතිරි වන්නේ ‘දෙන අත’ සහ ‘ගන්න අත’ පමණි. මෙය මිනිස් සමාජයක දක්නට ලැබෙන විශිෂ්ටතම සමානාත්මතා ලක්ෂණයකි. අතීතයේ දුගී මගී යාචක යන ජන කොටස් ඉලක්ක කොට ගත් මෙහි ව්‍යුහය අද ඊට වඩා බොහෝ සෙයින් පුළුල් වී තිබේ. මීට දශක කිහිපයකට ඉහත ‘දන්සල් වැඳීම’ යන උපහාසාත්මක නමින් හැඳින්වුණු මෙම කටයුත්ත, මේ වන විට ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ අහිංසක විනෝදාංශයක් තෙක් ප්‍රවර්ධනය වී තිබේ. මින් පෙර තමන් අත්විඳි තරු පහේ හෝටල්වල කෑම රසය තම හිතවතුන් හමුවේ පුනරාවර්ජනය කරමින් තුටුපහටු වූ ඉහළ මධ්‍යම පාන්තිකයන්, අද එපරිද්දෙන්ම අසවල් දන්සල් බතේ රසය ආදී වශයෙන් වර්ණනා කිරීම මත මෙම දන්සල් සංස්කෘතිය ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක්වෙමින් පවතී.
2020-2022 ආර්ථික අර්බුදයේදී සහ කොවිඩ් වසංගත සමයේදී රාජ්‍ය සුබසාධන යාන්ත්‍රණය බිඳ වැටුණු විට ද, ආගමික සන්දර්භයෙන් බැහැර ප්‍රජා මූලික දන්සල් අවිධිමත් සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් බවට පත් විය. දානය හුදු චාරිත්‍රයක් නොව ජාතියක පැවැත්මේ යාන්ත්‍රණයක් බව ද එමඟින් ඔප්පු විය. ඒ අනුව දන්සල යනු හුදු ආගමික කාර්යයක් නොව, ජනතා සහජීවනය මත පදනම් වූ පිළිවෙතක් බව ක්‍රියාවෙන් සනාථ වීම ද සුවිශේෂ සංසිද්ධියකි. මේ අතරේ සමාජයේ විවිධ කොටස් ජනප්‍රියත්වය, කීර්තිය, ආටෝපය ආදී අරමුණු මුල් කරගනිමින් ද දන්සල් පවත්වනු පෙනේ. නමුත් තෘෂ්ණාව පදනම් කරගනිමින්ම එය පහකර ගැනීමේ (“තණ්හං නිස්සාය තණ්හං පහාතබ්බං”) යන සියුම් බෞද්ධ මනෝවිද්‍යාත්මක මූලධර්මය මත ඒවා ද ප්‍රතික්ෂේප කිරීමට අපට නොපුළුවන.
නමුත් මෙම දන්සල් සම්බන්ධ කළමනාකරණ ගැටලු දිනෙන් දින ඉස්මතු වීම ද මේ සම්බන්ධ බරපතළ තත්ත්වයකි. 2024 වෙසක් සමයේ කොළඹින් පමණක් ඉවත් කළ දන්සල් කසළ ටොන් 50 ඉක්මවීම, සීනි සහ කෘත්‍රිම වර්ණක පිරුණු දන්සල් ආහාර මහජන සෞඛ්‍යයට අහිතකර වීම, කුසගින්න තාවකාලිකව නිවුවද, දිළිඳුකමේ මූලික ගැටලුවට විසඳුම් නොලැබීම ආදී විවේචන ද නූතන දන්සල් සංස්කෘතිය මතට පැටවෙන බව අප අමතක කළ යුතු නැත.
අප ජාතිය සතු ආගමික සංස්කෘතික උරුමයක් වන දානයේ ආධ්‍යාත්මික හරය රැකගනිමින්, දන්සල තුළ ද වර්තමානයට ගැළපෙන පරිවර්තනයක් අවශ්‍ය ය. සීනි බීම වෙනුවට කොළ කැඳ, ධාන්‍ය, පළතුරු මෙන්ම පොත්, පෑන්, පාසල් උපකරණ දන්දීම සේම, වෛද්‍ය සායන, වෘත්තීය පුහුණු වැඩමුළු ආදිය ද මෙම දන්සල් සංස්කෘතිය පිළිබඳ නවතාවයන් සේ සමාජගත කිරීම අතිශය සාධනීය වනු ඇත. එමඟින් දන්සල වාර්ෂික සංදර්ශනයක සීමාවන් බිඳ දමා, සමාජය ධනාත්මකව පරිවර්තනය කරන මෙවලමක් බවට පත් කළ හැකිය.
ඒ අනුව අප ජාතිය සතු ආගමික සංස්කෘතික උරුමයක් වන දානයේ ආධ්‍යාත්මික හරය රැකගනිමින්, දන්සල තුළ ද වර්තමානයට ගැළපෙන පරිවර්තනයක් අවශ්‍ය ය. සීනි බීම වෙනුවට කොළ කැඳ, ධාන්‍ය, පළතුරු මෙන්ම පොත්, පෑන්, පාසල් උපකරණ දන්දීම සේම, වෛද්‍ය සායන, වෘත්තීය පුහුණු වැඩමුළු ආදිය ද මෙම දන්සල් සංස්කෘතිය පිළිබඳ නවතාවයන් සේ සමාජගත කිරීම අතිශය සාධනීය වනු ඇත. එමඟින් දන්සල වාර්ෂික සංදර්ශනයක සීමාවන් බිඳ දමා, සමාජය ධනාත්මකව පරිවර්තනය කරන මෙවලමක් බවට පත් කළ හැකිය.
එමෙන්ම වෙසක් සමයේ පන්සල අබිබවා දන්සල ඉස්මතු වන්නේ ඇයි? යන්න ද ඉතා සියුම් ලෙස සමාජ මනෝවිද්‍යාත්මක විමසුමකට ලක් කළ යුතු ය. බොහෝ ආගම්වලට පොදු ශාස්තෘ දේශනාව හා ඉන් පැවසෙන සදාචාරාත්මක දර්ශනය එහි ප්රමුඛ කොටස් වන අතර අභිචාර විධි (Rituals – රිටුවල්ස්) සහ ශාන්තිකර්ම හෙවත් සුදු අභිචාර (White Magic – වයිට් මැජික්) එහි දෙවන අර්ධය සේ ගත හැක. ඒ අනුව මේ වන විට බෞද්ධාගමික සංස්ථා ව්‍යුහය තුළ එම දෙවන අර්ධය ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වීමත්, බොහෝ බෞද්ධ විහාරස්ථානවල පින්කම් සඳහා මූල්‍යමය පදනමක් ස්ථාපිත කර ගැනීමත්, පුදබිමක පැවතිය යුතු ශාන්ත බව වෙනුවට බොහෝ වෙහෙර විහාර වෙසක් ආදී උතුම් දිනවල ශබ්ද දූෂණයෙන් ආකූල ව්‍යාකූල වීමත් මත ජනතාව පතන ආධ්‍යාත්මික සහනය අවප්‍රමාණ වීම ද වෙසක් සමයේ පන්සල අබිබවා දන්සල ඉස්මතු වීමට හේතු වන්නට ඇතැයි යන්න අපගේ වැටහීම ය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය