ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සැලකිය යුතු ලෙස පහත වැටී ඇතත්, එය පදනම් කර ගනිමින් දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාවක් වර්තමානයේ නොමැති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ, පවතින මූල්‍ය හා මෙහෙයුම් තත්ත්වය සැලකිල්ලට ගත්විට ඉන්ධන මිල ඉහළ දැමීමේ දැඩි අවශ්‍යතාවක් ද මේ මොහොතේ නොමැති බවයි. බොරතෙල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව ලෙස සංස්ථාව පසුගිය කාලයේ දරන ලද පාඩු පියවා ගැනීම සහ රුපියලේ විනිමය අනුපාත උච්චාවචනයන් හේතුවෙන් ඇතිවන පිරිවැය කළමනාකරණය කිරීම දක්වා ඇත.
මේ අතර, එළඹෙන වෙසක් සතියේ ආගමික හා සමාජීය කටයුතු සඳහා බාධාවක් නොවන පරිදි ලබන ඉරිදා දිනයේදී ද දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව කළමනාකාර අධ්යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේය. වෙසක් සමයේ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සැලකිල්ලට ගෙන කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සංස්ථාව සහතික වෙයි.
වත්මන් ඉන්ධන තොග සම්බන්ධයෙන් අදහස් දක්වමින් මයුර නෙත්තිකුමාර මහතා කියා සිටියේ මෙට්‍රික් ටොන් 89,000ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවයි. ඒ අනුව ජූනි මස අවසානය දක්වා රටේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තොග දැනටමත් මෙරට තුළ පවතින අතර, අගෝස්තු මස දක්වා අවශ්‍ය ඉන්ධන තොග රැගත් නෞකා කාලසටහනකට අනුව දිවයිනට ළඟා වීමට නියමිතව ඇතැයිද ඔහු පැවසීය. මෙම සැපයුම් දාමය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව සංස්ථාවේ ස්ථාවරයයි.