සෞදියේ මරණ දඬුවමට නියම වූ අනෝජන්ගේ නිදහස ගැන සජිත් මැදිහත් වෙයි

සෞදියේ මරණ දඬුවමට නියම වූ අනෝජන්ගේ නිදහස ගැන සජිත් මැදිහත් වෙයි

සමාජ මාධ්‍ය ජාලයක පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී ඇතැයි වාර්තා වන ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීහු ඊයේ (21) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා වන සිවරාසා හම්සිදන් ඇතුළු පවුලේ ඥාතීන් මෙම හමුවට එක්ව ඇති අතර, අනෝජන් මුහුණ දී සිටින නීතිමය තත්ත්වය සහ ඔහු නිදහස් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇත.එම සාකච්ඡාව අතරතුර සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් සජිත් ප්‍රේමදාස මහතා, අනෝජන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික පියවර පිළිබඳව මූලික සාකච්ඡාවක් සිදු කර තිබේ. ඉන් අනතුරුව සෞදි බන්ධනාගාරයක රඳවා සිටින අනෝජන් සමඟද දුරකථනයෙන් කතා කර ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා ඇත.එසේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගත් විපක්ෂ නායකවරයා, අනෝජන් සම්බන්ධ නීතිමය තත්ත්වය සහ ඔහු නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද කරුණු විමසා තිබෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සැප්තැම්බර් 18 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ, සෞදි අරාබියේදී අධිකරණ ක්‍රියාදාමයකට මුහුණ දෙමින් සිටින අනෝජන් සිවරාසාගේ නඩුව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහාත් කොළඹ සෞදි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන්ත් තත්ත්වය නිරීක්ෂණය කරන බවත්, රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධ වී ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ හැකි සෑම සහායක්ම ලබාදීමට පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යාංශය සඳහන් කර ඇත.වාර්තා වන පරිදි අනෝජන්ට එරෙහි නඩුව ආරම්භ වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. ඔහු සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී මෙම සමාජ මාධ්‍ය සිදුවීම ඇතිවී ඇති අතර, එය ඉස්ලාම් ආගමට සහ නබි මුහම්මද්තුමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් ලෙස සෞදි බලධාරීන් විසින් සලකා ඇති බවට වාර්තා පළ වී තිබේ. කෙසේ වෙතත්, නඩුවේ නීතිමය කරුණු පිළිබඳ සියලු තොරතුරු ස්වාධීනව තහවුරු වී නොමැති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයද තවමත් නඩුව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පවසා තිබේ.මීට පෙර වාර්තා වූ තොරතුරු අනුව, සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණයක් විසින් අනෝජන්ට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. පසුව අභියාචන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මරණ දඬුවමක් නියම වී ඇති බව ඔහුගේ පවුලේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබේ.
අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළද මේ වන විට අවධානය ඉහළ ගොස් ඇති අතර, ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා සහ අත්සන් එකතු කිරීමේ වැඩසටහන් කිහිපයක්ද පැවැත්වී තිබේ. එමෙන්ම රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාද සඳහන් කර තිබිණි.මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අනෝජන්ගේ දෙමාපියන් හමුවීමෙන් අනතුරුව, ඔහුට සමාව ලබා ගැනීම සඳහා සෞදි රජු වෙත නිල ලිඛිත රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගන්නා බව අද ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.මෙවැනි පසුබිමක, විදෙස්ගතව රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ නිදහස සම්බන්ධයෙන් තමන්ට කළ හැකි උපරිම මැදිහත්වීම සිදු කරන බවත්, අදාළ පාර්ශ්වවල අවධානය මේ සම්බන්ධයෙන් අඛණ්ඩව යොමු කරමින් ඔහු වෙනුවෙන් සහාය ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවුලේ ඥාතීන්ට සහතික වූ බව ඔවුහු පවසති.

Uncategorized