ජල ගැල්මෙන් පසු නේපාලයේ උමංවල සිර වී සිටින කම්කරුවන් සිය ගණනකගේ ඉරණම කුමක් වෙයි ද?


නේපාලයේ පසුගිය දා හටගත් මහා ජල ගැල්මට අදාලව මේ වනවිට වඩාත්ම අවධානයට ලක්වන කාරණය වී ඇත්තේ එරට උමංවල සිරවී සිටින කම්කරුවන්ගේ ඉරණම පිලිබඳ කාරණය යි.

පසුගිය අගෝස්තු 26 වැනි දා හටගත් මෙම බිහිසුණු ජල ගැල්ම නිසා නේපාලයේ ජල විදුලි බලාගාර රැසක් ජලයෙන් සහ මඩ තට්ටුවලින් යට විය. මේ නිසා මෙම බලාගාරවලට සම්බන්ධ භූගත උමංවල වැඩ කරම්න් සිටි කම්කරුවෝ විශාල සංඛ්‍යාවක් ඒවා තුළ සිර වූවෝය. බලධාරීන් සඳහන් කරන ආකාරයට කම්කරුවන් 900 කට ආසන්න පිරිසක් ආගිය අතක් නැත. මේ අතරින් 500 ක් පමණ ඉහත කී උමංවල සිර වී සිටිනවා විය හැකි බව බලධාරීන්ගේ අදහස යි.

මෙම පිරිස සොයා ගැනීම සඳහාත්, ඔවුන් බේරා ගැනීම සඳහාත් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැවැන්ත මෙහෙයුමක් ඉදිරියට යමින් තිබේ. නමුත් කාලය ගත වෙත්ම ඉහත කී කම්කරුවන් පණ පිටින් බේරා ගැනීමට ඇති අවස්ථාව හැකිලෙමින් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජල විදුලි බලාගාර 12 ක පමණ මේ ආකාරයෙන් කම්කරුවන් සිර වී සිටින බව විශ්වාස කෙරේ.

මෙම ඇතැම් උමගවල ආහාර,ජලය ආදිය ගබඩා කර ඇති කාමර තිබෙන බවක් ද, ඒවාට යම් ඔක්සිජන් සැපයුමක් පවා තිබෙන බවක් ද සඳහන් වේ. මේ නිසා කම්කරුවන් යම් පිරිසක් තවමත් නිරුපද්‍රිතව සිටින්නට ඉඩ ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම්වල විශ්වාසය යි.

මේ පිලිබඳ යම් බලාපොරොත්තුවක් දල්වමින් කම්කරුවන් තිදෙනෙකු බේරා ගැනීමට පසුගිය දිනවල ඉහත කී කණ්ඩායම් සමත් වූවෝය. මේ තිදෙනා බේරා ගැනුණේ උමං දෙකකිනි. ඒ අතරින් දෙදෙනෙකු නේපාල ජාතිකයන් වූ අතර අනෙකා චීන ජාතික කම්කරුවෙකි.
ඔවුන් බේරා ගැනුණේ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල යි. ඒ වනවිට ඔවුන් දින 10 කට ආසන්න කාලයක් උමං තුළ ගත කර තිබිණි.

මෙම කම්කරුවන් තමුන් මුහුණ දුන් අත්දැකීම් ගැන මාධ්‍ය සමග පවසා තිබෙනු ද දැකිය හැකි විය. සිකුරාදා බේරා ගත් කම්කරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වන සංජේ සාහ් ජල විදුලි බලාගාරයක ෆෝර්මන් කෙනෙකු ලෙස කටයුතු කළ කෙනෙකි.

ජල කඳ ඔවුන් සිටි උමග දෙසට ඇදී එද්දී ඔවුන්ට ඒ පිලිබඳ අනතුරු ඇඟවීමක් ලැබුණු බව ඔහු පවසා තිබිණි. එම අවස්ථාවේ තමා සහෝදර කම්කරුවන් හැකි ඉක්මනින් උමගෙන් පිටතට යැවීමට කටයුතු කරමින් ඔවුන්ට උදව් කරමින් රැඳී සිටි බවත්, අවසානයේ තමාට පිටතට එන්නට වේලාව මදි වූ බවත් සාහ් සඳහන් කර තිබෙනු දැකිය හැකි විය.

ඝන අන්ධකාරය පිරුණු උමගක් තුළ ජීවිතය පිලිබඳව බලාපොරොත්තුවකින් තොරව ගත කළ කාලය ගැන සාහ් විස්තර කර තිබිණි. තමා හින්දු ආගමික මන්ත්‍ර කියමින් ජීවිතය ගැන අපේක්ෂාවන් නොනැසී පවත්වා ගැනීමට උත්සාහ කළ බව ද සාහ් සඳහන් කර ඇත.

උමගෙ හි තවත් ඇතුළට වන්නට සිර වී සිටි පිරිසකගේ හඬ තමාට ඇසුණු බවත්, ඔවුන් ද උදව් ඉල්ලමින් කෑ ගැසූ බවත් ඔහු කියා තිබිණි. එම කම්කරුවන් තවමත් ජීවත්ව සිටිනවාද යන්න ගැන මේ වනතුරුත් හෝඩුවාවක් නැත.

උමගෙන් ඉවතට ගැනුණු පසු සාහ් විමසා තිබූ පළමු ප්‍රශ්නය වූයේ “අද දවස මොකක්ද?” යන්න යි.

සිකුරාදා බේරා ගැනුණු අනෙක් කම්කරුවා කබීර් මහාර්ජන් නැමැත්තෙකි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බෙහෙවින් අයහපත් බවක් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ඔහු මේ වනවිට රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගනිමින් සිටින බව ද සඳහන් වේ.

මහාර්ජන් උමගෙන් ඉවතට ගන්නා අවස්ථාවේ දැඩි මානසික කම්පනයෙන් පසු වූ බවත්, යහපත් සිහි කල්පනාවෙන් නොසිටි බවත්, ඔහුගේ බිරිඳ පවා හඳුනා ගැනීමට නොහැකි වූ බවත් මාධ්‍ය වාර්තාවල දැක්විණි. අතපය සෙලවීමට පවා ඔහුට නොහැකි වූ බව සඳහන් ය. එක් පාදයක් දැඩි ලෙස ආබාධයට ලක්ව තිබූ බවත්, සම කහ පැහැයට හැරී තිබූ බවත් පැවසේ.

සෙනසුරාදා බේරා ගෙන තිබූ චීන ජාතික කම්කරුවාගේ නම ලූ හයිතාඕ ය. ඔහු ද බේරා ගනිද්දී දැඩි විජලන තත්වයෙන් සහ තෝන්තු ගතියෙන් පසු වූ බව සඳහන් වේ. හයිතාඕ ද තමා මුහුණ දුන් අත්දැකීම ගැන පසුව යම් විස්තරයක් කර තිබිණි.

දින 10 ක් තිස්සේ උමග තුළ සිරවී සිටීමෙන් පසු හදිසියේම ගලවා ගැනීමේ කණ්ඩායම්වල විදුලි පන්දම්වල එළි ඈතින් දැක ගන්නට ලැබුණු බවත්, එවිට තමා පෙනහළුවල සියලු ශක්තිය යොදා කෑ ගැසූ බවත් ඔහු පවසා තිබේ. නමුත් උමග සුන්බුන්වලින් අවහිර වී තිබූ නිසාත්, තමා සහ ගලවා ගැනීමේ පිරිස් අතර තරමක දුරක් තිබූ නිසාත් ඔවුන්ට තමා ගේ හඬ මුලින් නොඇසුණු බව ඔහු සඳහන් කර ඇත.

කෙසේ හෝ වේවා, ගලවා ගැනීමේ කණ්ඩායම් හයිතාඕ වෙත ලඟා වීමට සමත් වූහ.

” අන්තිමේ ඔවුන්ගේ විදුලි පන්දම්වල එළිය මගේ මුහුණ ඉදිරියේ දර්ශණය වුණාම, ඊට පස්සේ ඔවුන් මාව බේර ගත්තාම මට ඒක අදහ ගන්නත් බැරි වුණා”. හයිතාඕ පවසා තිබිණි.

මේ වනවිට 20,000 කට ආසන්න පිරිසක් මෙම කම්කරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතර චීනය, ඉන්දියාව, ඇමරිකාව, දකුණු කොරියාව යන රටවල විශේෂඥ කණ්ඩායම් ද මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටිති.
ඩ්‍රෝන යානා, උමංවල සිතියම්, කැමරා සහ ඔක්සිජන් උපකරණ ආදිය යොදා ගනිමින් කෙරෙන මෙම මෙහෙයුම් ඉතා දුෂ්කර මෙන්ම අනතුරුදායක ද වේ.

මේ අතර ඛේදවාචකයෙන් නේපාලය තුළ මිය ගිය ගණන මේ වනවිට 1,350 ඉක්මවා තිබේ. අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 5,000 කට ආසන්න ය.

ටිබෙටය තුළ ද මරණ 43 ක් පිලිබඳ වාර්තා වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර