ජ්‍යොතිෂය නමින් මාධ්‍ය කරලියේ රඟ දැක්වෙන නිරුවත් නාඩගම් පිටු දකිමු  

වර්තමාන කොවිඩ් වසංගතයත් සමඟ අප රටේ පසුබෑමට ලක් ව ඇති විෂයන් අතර ජ්‍යොතිෂයට මුල් තැනක් හිමි වෙයි.ඊට හේතුව පසුගිය කාලය පුරා රූපවාහිනී ඇතුළු ජන මාධ්‍ය මඟින් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කරන ලද අනිසි උද්දීපනයයි.

නිදසුනක් ලෙස රට තුළ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් පවා ජ්‍යොතීර්වේදීන්ගේ සාකච්ඡා ජාතික මට්ටමින් පවත්වන තැනට ජන මාධ්‍යයන් පත් වූ අතර අප දන්නා තරමින් එය නිරයන හෙවත් පෙරදිග ජෝතීර්වේදයේ තිඹිරි ගෙය වන ඉන්දියාවේ පවා දක්නට නොමැති තත්වයකි.

වසර පනහක ජ්‍යොතීර්වේදය සම්බන්ධ අත්දැකීම් අනුව මට කිව හැක්කේ මෙම විෂය තුළින් ඕනෑම සුබ දෙයක් තුළින් අසුබත් ඕනෑම අසුබ දෙයක් තුළින් සුබත් ඉස්මතු කළ හැකි බව ය.ඒ සඳහා කළ යුත්තේ තමන් තෝරා ගන්නා ජ්‍යොතිෂ සිද්ධාන්තය ඔස්සේ ගැඹුරින් ගැඹුරට හැදෑරීම පමණි.

ඒ අනුව වර්තමානයේ ජන මාධ්‍ය තුළින් ජ්‍යොතිෂය මුල් කොට රඟ දක්වන නිරුවත් රංගන ඔස්සේ ජ්‍යොතිෂයේ පවතින වටිනාකම ද “කුණු කානු පල්ලේ යාම” හේතුවෙන් ජ්‍යොතිෂය පිළිබඳ සැබෑ දැනීමක් වැටහීමක් ඇති බොහෝ දෙනකු ඉච්ඡා භංගත්වයට හා පසු බෑමට ලක් ව හිඳිති.අප රටේ ජ්‍යොතිෂවේදීන්ට තම විෂය හා සම්බන්ධ ජ්‍යොතීර්වේද මූලාශ රැසක් ලබා ගන්නේ පංචාංග ලිත් මඟිනි.

ඒ පංචාංග ලිත් අතරින් මුල් තැනක් ගන්නා ලංකා ග්‍රහස්ඵුට පංචාංග ලිත් මාලාවේ නිර්මාතෘ බණ්ඩාරවෙල පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාලයාධිපති එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතා මෑත භාගයේ ජෝතීර් විද්‍යා පර්යේෂණ සම්බන්ධයෙන් විශාරදත්වයක් දැක් වූ මහ පඬිරුවනකි.

මීට දශක තුනකට පමණ පෙර මෙලොවින් සදහටම වෙන් වූ ඒ මහා පඬි වරයා ඉන්දියාවේ දී සිද්ධාන්තමයජ්‍යොතිෂය  හදාරා ඒ සම්බන්ධ ශාස්ත්‍රීය දැනුම් සම්භාරයක් හිමි කරගෙන ඇති විද්වතෙකි.මහාචාර්ය විමල් බලගල්ලේ විද්වතානන් එවක මගේ සමීපතමයකු වූ අතර එමඟින් මට එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතා වෙතින් මට ජ්‍යොතිෂය තව දුරටත් හැදෑරීමේ භාග්‍යය ලැබිණ.ඒ එක් දහස් නවසිය හැත්තෑව දශකයේ මා උඩරට  දුම්රිය ස්ථානාධිපති වරයකු වශයෙන් සේවය කළ සමයේ ය.

කස්තුරිරත්න මහතා වෙතින් ජ්‍යොතිෂය වැඩි දුරටත් ප්‍රගුණ කළ මට එතෙක් මා ජ්‍යොතිෂය පිළිබඳව දැරූ අන්ධ විශ්වාස රැසක් දුරු කර ගත හැකි විය.නමුදු එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතා හෙළි පෙහෙළි කළ ඒ ජ්‍යොතිෂය සම්බන්ධ නව ප්‍රවේශය අද වන විට කෙතරම් වල් බිහි ව තිබේ ද යන්නට ඒ මහතා  කර්තෘ වශයෙන් ද තලවතුගොඩ ජ්‍යොතීර් විද්‍යා පර්යේෂණායතනයේ ආචාර්ය ආර්.කේ.රෝහණ සිසිරකුමාර මහතා උප කර්තෘ වශයෙන් ද ලියා ඇති ‘හඳහන බැලීමේ ගුරුමුෂ්ටි ii”  පොතේ ‘හැඳින්වීම’ යන කොටසේ සඳහන් වන මෙම ප්‍රකාශය කදිම නිදසුනකි.

“….. මේ ශාස්ත්‍රය පිළිබඳ ‘ප්‍රකට රහසක්’ කීමට තිබේ. එනම් යම් කෙනෙකුට හැකි තරමින් ඉගෙන රක්ෂාවක් වශයෙන් කරමින් ජීවනෝපාය ගෙන යාමට නම් මෙය හොඳ ශාස්ත්‍රයක් මිස සියයට සියයක්ම හරියටම හරියන ලෙස කීමට හැකි ආකාරයට සත්‍යම සිද්ධාන්ත උඩ ගොඩනගා තිබෙන විද්‍යාත්මක පදනමක් ඇති ශාස්ත්‍රයක් නොවන බවයි.

නොඑසේ නම් මේ ශාස්ත්‍රය හරි හැටි බලා කියන අනාගත කියමන් කවුරු කීවත් එක සමානව හරි නොයන්නට හේතුවක් නැත.ඇත්ත වශයෙන් ම කියනවා නම් මේ ශාස්ත්‍රය ඉතා ඉහළට ම ඉගෙන ගත් තැනැත්තාට ද, එහෙන් මෙහෙන් එකක් දෙකක් අහුලාගෙන යාන්තමින් ශාස්ත්‍රය ලෙව කාපු තැනැත්තාට ද යන මේ දෙදෙනාට ම මෙයින් වැඩක් කර ගැනීමට නුපුළුවන.ඉහළටම ඉගෙන ගත් තැනැත්තාට ශූභ හෝ අශූභ හෝ මොන කරුණක් කියන්නට ගියත් හැම පැත්තෙන් ම එයට බාධක හෝ සාධක ග්‍රහයෝග පෙනෙන නිසා එකක්වත් ස්ථිර නිගමනයකට බැසීමට නුපුළුවන.

ශාස්ත්‍රය යාන්තමින් ලෙවකාපු තැනැත්තාට සිදුවන්නේ එකක්වත් නියම ශුභාශූභයක් හරියක් වැරැද්දක් නොදන්නා නිසා දන්නා තරමටත් වඩා ලොකුවට ‘පම්පෝරි’ ගැසීමට ගොස් එකෙන් දෙකෙන් අප්‍රසාදයට පත්වී ඇද වැටීමය.

සමහර විට දරුවකු  උපන්නාය කියන වේලාවට දෛවඥවරයා නිගමනය කරන පුරුෂ හෝ ස්ත්‍රී උත්පත්ති නො වී නම් ‘එහෙනම් වේලාව අරන් තිබෙන හැටි වැරදිය’ යි කියා එය ඉතා නිවැරදිව ගත් වේලාවක් වුවද වැරදියයි එයට තව මිනිත්තු කිහිපයක් එක්කර හෝ එයින් අඩුකර හෝ නූපන් බොරු වේලාවකට හඳහන සාදාදීමට අද ඇතැම් දෛවඥවරුන්ට සිදුවී තිබෙන අවාසනාවන්ත සිද්ධියකි.

එමෙන් ම තවත් සැමතැනදීම හරි නොයන ජ්‍යොතිෂ නිගමනයක් නම් කුජ චන්ද්‍ර යෝගය හෝ දෘෂ්ටිය අනුව මල්වර වෙනවාය කියන නිගමනයයි. එම දෘෂ්ටි සංයෝගයක් අසලකවත් නැති දිනවල දී මල්වරවීම අනන්තවත් සිදුවන බව අපට නොයෙක් වර අත්දකින්නට ලැබී තිබේ.

ආයුර්දාය ගණිත ක්‍රමය අනුව හරියටම මරණය සිදුවෙනවාය කියන කියමනක් ද තවත් එවැනිම අසත්‍ය ශාස්ත්‍රීය නිගමනයකි. මදුරාසියේ බ්‍රෝඩ්වේ පාරේ නො. 156 දරණ ස්ථානයේ ජීවත්ව සිටි උසස්ම ජ්‍යොතිෂ ග්‍රන්ථ රාශියක්ම ලියා ප්‍රසිද්ධ කළ අතිශ්‍රේෂ්ඨ අති ජ්‍යෙෂ්ඨ කීර්තිමත් ජ්‍යොතිෂ් ශාස්ත්‍රාචාර්යවරයෙකු වූ M.Vijayaraghavulu (B.A.,M.B.,&C.M.) මැතිතුමා 1927 දී ප්‍රසිද්ධ කළ Hindu Astrological Calculations අෂ්ටකවර්ගායුර්දාය යන ආයුර්දාය ගණිතක්‍රම පහ ගැනීම පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වා ඒ අනුව 7 වැනි එඩ්වඩ් රජතුමා ඇතුළු තවත් ඉන්දියන් මහාරාජවරු කීපදෙනෙකුගේ හඳහන් අනුව එම ආයුර්දාය  ක්රම නියම ශාස්ත්‍රානුකූලව හරියට ගැන බැලුව ද ඒ නියම දිනවල ඒ කිසිවෙක් නොමළ බවත් එයට වඩා තවත් අවුරුදු ගණනක්ම ජීවත්ව සිටි බවත් කියා තිබේ.”

නමුදු ජ්‍යොතිෂය පිළිබඳ එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතා දක්වන මෙම ශාස්ත්‍රීය මතවාද නූතනයේ වෙසෙන ජ්‍යොතීර්වේදය සිය`තට ගත් කපටි කයිරාටිකයන් විසින් පණ පිටින් වළලා දමා තිබේ.

අද බොහෝ විට රූපවාහිනී මාධ්‍ය වලින් ජ්‍යොතීර්වේදී “තරු” බවට පත් ව ඇත්තේ සෛද්ධාන්තික  ජ්‍යොතීර්වේදයේ මළ පොත වත් නොකිය වූ මාධ්‍ය වලින් අත් පා හරඹ කරමින් ජ්‍යොතිෂය පිළිබඳ හයක් හතරක් නොදත් මහ ජනතාව රැවටීමට පමණක් දත් එක් අතකින් කපටි කයිරාටිකයන් වන පට්ට පල් මෝඩයන් ය.

කුජ ග්‍රහයා සහ කඳ සුරිඳුන් අතර සබඳතාවක් ඇතැයි මහනුවර යුගයේ සිටි නූගත් අයෙකු එවක ජන මනැසට එක් කළ සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදයට ඉඳුරාම පටහැනි මතයක් රූපවාහිනී මාධ්‍ය මඟින් රටට ඉදිරි පත් කොට මෙරට ජන මනැස කළඹනුයේත් තම අනාවැකියක් වැරදුණ හොත් හිසට වෙඩි තබා ගන්න බවට මාධ්‍ය මඟින් ඔල්මොරොන්දන් ප්‍රකාශ කරනුයේත් එවැනි මන්ද බුද්ධික කපටි කයිරාටිකයන්ය.

අප රටේ ජ්‍යොතීර්වේදය රැක ගැනීම පිණිස පළමුව කළ යුත්තේ ඔවුන් ගේ ජ්‍යොතීර්වේදය පිළිබඳ දැනුම් නිරුවත සමාජය හමුවේ හෙළි කරලීමය.ඒ සඳහා තාමත් අප රටේ ඉතිරිව හිඳින සෛධාන්තික ජ්‍යොතීර්වේදය හදාළ විද්වතුන් ඒක රාශී වීමේ ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවක් පැනන නැඟී තිබේ.

වෑවලගේ විමලසිරි

එතෙර - මෙතෙර